Friday, December 16, 2016

නුදුරේදීම මහාමාර්ගයට එකවන රියදුරන් රහිත රථ

ගූගල් ආයතනය (Google Inc) 2009 වසරේ ආරම්භ කළ රියදුරෙක් නොමැතිව නො එසේනම් තනියම ගමන්කල හැකි වාහනයක් සඳහා වන ව්‍යාපෘතිය මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

IEEE Spectrum සඟරවේ Philip E Ross ට අනුව මේ දින වල ගූගල් සමාගම ව්‍යාපාරික සැලසුමක් සකසමින් සිටින බවයි.

මින් අදහස් වන්නේ අවුරුදු 7කට අධික කාලයක් පුරා සැතපුම් මිලියන 2ක් එනම් 3,218,690 km පමණ ධාවන දුරක් ප්‍රසිද්ධ මහාමාර්ග වල සහ අමෙරිකාවේ කාර්යබහුල නගර වල පරීක්ෂණ ධාවනයන්ගේ යෙදවීමෙන් පසු ඔවුන් තම නිෂ්පාදනය වාණිජ මට්ටමට ගෙන ඇති බවයි.

Lexus RX450h

2009 වර්ශයේ ආරම්හ වූ මෙම ව්‍යාපෘතිය තම ප්‍රථම රියදුරන් රහිත වාහනය ක්ශේත්‍ර පරීක්ෂාවට ලක් කරන්නේ 2012 වර්ෂයේදීය. ඒ තදබදය අඩු නිදහස් මාවත් (Freeways) වලදීය. ඒ එකල සාමාන්‍ය භාවිතයේ තිබූ (Lexus RX450h) ලෙක්සස්  SUV වර්ගයේ මෝටර් රථය වැඩිදියුණු කිරීමෙනි. එම වසරේ අගදී ඔවුන් වැඩි තදබදයක් සහිත නගර වල පරීක්ෂා කිරීම් ඇරඹූ අතර, එය එකල මාධ්‍ය ඉතාම කථාබහට ලක් වූ මාතෘකාවක් විය.

2014 වසරේදී මෙම රියදුරන් රහිත රථය සඳහා ඔවුන්ගේම මූලාකෘතියක් නිපදවා පරීක්ෂා කිරීම් ඇරඹූ පසු මේ වන විට එහි ප්‍රසිද්ධ මාවත් වල පරීක්ෂණයන් 2015 වසරේ ආරම්භ කලේය.

2016 වසර අග භාගය වන විට ඔවුන් තවත් පරීක්ෂණයන් සහ රියදුරන් රහිත ධාවනයේ සැතපුම් මිලියන 2 සම්පූර්ණ කිරීමත් සමඟම මේ වසරේ දෙසැම්බර් මස සිට මෙම ව්‍යාපෘතිය වේමෝ ( Waymo) ලෙස නම් කළ අතර මෙම රථයන් වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීමේ පියවරට මුලපුරමින් සිටී.

එනම් මෙහි අර්ථය නුදුරේදීම මෙම රියදුරන් රහිත රථ මහාමාර්ගයට එකවන බවයි.

Images From with Thanks:
http://www.seattletimes.com/business/technology/google-is-testing-its-self-driving-car-in-kirkland/
http://phys.org/news/2016-12-google-self-driving-car-waymo.html
http://www.honestjohn.co.uk/carbycar/lexus/rx450h-2009/

Thursday, December 8, 2016

බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද ?


"බුදුරජාණන් වහන්සේද සාමාන්‍ය මනුෂ්‍යයෙකි" යන්න නිතර සමාජයේ අසන්නට ලැබෙන දෙයකි. නමුත් එය එසේමද?

එදා භාරතීය සමාජයේ ඇතිවූ මෙම ප්‍රශ්ණය මාතෘකා කරගනිමින් දේශණා කරනලද මහා සීහනාද සූත්‍රයෙන්......

Thursday, November 24, 2016

හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?

රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට අදාලව අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය ලියන විචාගේ කොමෙන්ටුවක් අනුව මෙම අදහස ඇති විය. බොහෝ දෙනා කාලාම සූත්‍රය සහ එහි සඳහන් වන නිදහස් චින්තනය පිළිබඳව සාකච්ඡා කරන බැවින් සහ එම අදහස යොදාගන්නා බැවින්, විචාටත් වෛද්‍යතුමාටත් ස්තූති කරමින්ම මෙම විස්තරය සටහන් කරමි.

>>>>>>>>>...............................<<<<<<<<<<<<
එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. 

’’ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වති. ප්‍රකාශ කරති. අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති."
" ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම දක්වති, ප්‍රකාශ කරති, අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති,"

"ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට සැක ශංකා ඇතිවන්නේය" කියායි.

’’කාලාමයෙනි, නුඹලා විසින් සැක ශංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ශංකා කළයුතු තන්හිම සැක උපන්නේය. 

"කාලාමයෙනි, 
1. නුඹලා අනුන් කියනු ඇසීමෙන් නොපිළිගත යුතුය. 
2. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගත යුතුය.
3. මෙය මෙසේ විය හැකියයි නොපිළිගත යුතුය.  
4. අපගේ පොත පතෙහි සඳහන් බැවින් නොපිළිගත යුතුය. .
5. තර්‍කානුකූලයයිද නොපිළිගත යුතුය. 
6. න්‍යායට අනුකූලයයිද නොපිළිගත යුතුය. 
7. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුය. 
8. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගත යුතුය. 
9. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගත යුතුය. 
10. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගත යුතුය. 

කාලාමයෙනි, 
යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍- විචාරකමයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.

’’කාලාමයෙනි, නුඹලා කුමක් සිතන්නෙහිද? 

"පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ පුද්ගලයා ලෝභය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයි. "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද ?’’

’’ස්වාමීනි, එසේය.’’

’’කාලාමයෙනි,  නුඹලා කුමක් සිතන්නෙහිද? 

" පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ පුද්ගලයා ද්වේෂය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයි "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, ?’’

’’ස්වාමීනි, එසේය.’’

" පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ පුද්ගලයා මෝහය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයිද, "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, ?’’

’’ස්වාමීනි, එසේය.’’

’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් වෙද්ද, අකුසල් වෙද්ද?

’’ස්වාමීනි, අකුසල්ය.’’

’’එසේනම් එය වැරදි දෙයක්ද, නිවැරදි දෙයක්ද?’’

’’ස්වාමීනි, එය වැරදි දෙයක්.’’

’’නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?’’
’’ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.’’
’’සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?’’
’’ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.’’

>>>>>>>>....................................<<<<<<<<<<

’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. එහි අන්‍යයාද සමාදන් කරවයිද, "
ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද ?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අද්වෙශය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
 
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, ද්වේශයෙන් නොඇලුණාවූ, ද්වේශයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි, එහි අන්‍යයාද සමාදන් කරවයිද?
ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අමෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, මෝහයෙන් නොඇලුණාවූ, මෝහයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. එහි අන්‍යයාද සමාදන් කරවයිද
යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, කුසල්ය."
’’වරද හෝ නිවරද හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, නිවරද වෙත්.’’
’’නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙත්.’’
’’පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස හෝ පවතිත්ද, හිත පිණිස හෝ නොපවතිත්ද? මේ කාරණයෙහි අදහස කෙසේද?
’’පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස, සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.’’
>>>>>...........................<<<<<<<

’’කාලාමයෙනි, මෙසේ පහකළ ලෝභය ඇති පහකළ ද්වේෂය ඇති, මුළා නොවූ, යහපත් නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
’’කාලාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, මෙසේ අව්‍යාපාද සිත් ඇත්තතේ වේද, මෙසේ නොකිලුටු සිත් ඇත්තේ වේද, මෙසේ පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
1. ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ’කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
2. ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ’මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ජීවිතය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
3. ඉදින් පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
4.ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ’දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
’’කාළාමයෙනි, මෙසේ වෛර සිත් නැත්තාවූ, මෙසේ ව්‍යාපාද සිත් නැත්තාවූ, මෙසේ නොකිලිටි සිත් ඇත්තාවූ, මෙසේ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ ආත්මයෙහිම මේ අස්වැසිම් සතර ලබන ලද්දාහු වෙත්යයි වදාළ සේක.

>>>>>>>>>>..........................<<<<<<<<<< 

කලාම සූත්‍රයෙන් උපුටාගත් කොටස් පමණක් මෙලෙස දක්වනුයේ ඉතාමත් දීර්ඝ විස්තරයක් එහි ඇති බැවිනි.

~සූත්‍ර පිටකය-අංගුත්තර නිපාතය-තික නිපාතය-මහා වග්ගය~

මෙහි 5 වන සූත්‍ර දේශ්ණාව වන කාලාම සූත්‍රය වැඩිවිස්තර සඳහා කියවා බැලිය හැක.

මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන ප්‍රධාන කරුණනම් කුසලය, අකුසලය තමා විසින්ම නුවණින් විමසා බලා තීරණය කරන ලෙසයි.

තමාටත්, අනුන්ටත් යන එක් පක්ෂයකට හෝ දෙපක්ෂයටම අයහපතක්, නරකක් වෙයිනම් එය අකුසලයකි.

තමාටත්, අනුන්ටත් යන එක් පක්ෂ්යකට හෝ දෙපක්ෂයටම යහපතක්, හොඳක් වෙයිනම් එය කුසලයකි.

එය තමන්ම නුවණින් සලකා බලා තීරණය කර, එහි හැසිරීම යහපත් බවයි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් පෙන්වා දෙනු ලබනුයේ.
සූත්‍ර පාඨ උපුටාගැනීම:  www.pitaka.lk

Image From with Thanks: https://www.google.com/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwiUrtX667vQAhVMPY8KHdQsAdQQjRwIBw&url=http%3A%2F%2Fslideplayer.com%2Fslide%2F10025450%2F&psig=AFQjCNEueFWBTxka_JFVRmBmOZlApUkm9A&ust=1479885925933276

Saturday, November 19, 2016

දහම්පාසල් අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව

ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි.

1. තමන් උගන්වන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ප්‍රගුණභාවය..

2. න්‍යායාත්මක ඉගැන්වීමේ සහ ප්‍රායෝගික පුහුණු කිරීමේ හැකියාව.

පාසල් අධ්‍යාපනය ප්‍රමුඛ ප්‍රධාන ධාරාවේ ගුරුවරු මේ දක්ෂතා වලින් යුක්ත බව අවිවාදිතය. 

දහම්පාසල් තුල මෙම තත්වය කෙසේද ?

එය තීරණය වන්නේ දහම් පාසල් පද්ධතිය තුලින්ඉ ගැන්වීමට බලාපොරොත්තු වන දේ අනුවය. දැනුම ලබා දීම අතින් දහම්පාසල් වල තත්වයේ එතරම් වෙනසක් නැත.

නමුත් දහම්පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තුව දැනුම පමණක් නොවේ. ගුණගරුක සහ ධාර්මික, යහපත් දරු පිරිසක් බිහි කිරීමයි. 

එනම් දහම් දැනුම මෙන්ම ප්‍රායෝගික බෞද්ධ දරු පිරිසක් බිහි කිරීමයි. එතුළින් යහපත් සමාජයක් බිහි කිරීමයි.

ඒ සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම සහතික, කුසලාන කේන්ද්‍ර කරගත් තරඟ, සාර්ථක ක්‍රමයක් ලෙස නොපෙනෙයි. එබැවින් දහම්පාසලකට එම අධ්‍යාපන ක්‍රමවේදය නොගැළපෙන්නේය යන්න මාගේ හැඟීමයි.

බෞද්ධ දර්ශනයේ  ප්‍රායෝගික භාවිතය දහම්පාසල් ගුරුවරුන් අතර එතරම්ම ප්‍රචලිත නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමද එසේමය.

බෞද්ධ දර්ශණයේ ගැඹුර මෙන්ම එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම නොදැනුවත්කම මෙන්ම බෞද්ධ දාර්ශණික අත්දැකීම් මද වීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය එහි මූලික අරමුණින් බැහරව තරඟකාරී පරිසරයටම වැටී ඇති අතරම ඉන් වන සේවාවද අවම වෙමින් පවතී.

ප්‍රායෝගික සහ න්‍යායතමක දැනුම සහ අත්දැකීම් තුලින්, " අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.
  

Monday, November 14, 2016

වැසි සළු පූජාව

කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු පිළිබඳව කතා පුවතකි මේ.

අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා පවුලකින් තම එකම පුත්‍රයා කුඩා කලදීම මහණ කරනු ලදුව, ඉතාමත් මහන්සියෙන් බවුන් වඩා මේ භික්ෂූන්වහන්සේ අරහත්වයට පත් වී සිතුල්පව්ව විහාරස්ථානයේ වැඩවසයි. වසර ගණනාවකට පසු තම පුත්‍රයා දැකගැනීමේ ආශාවෙන් මෙම දෙමවුපියන් ඔහු මහණ කල තම විහාරස්ථානයේ වැඩිහිටි ස්වාමීන්වහන්සේ හමුවී ඒ බව දන්වා, තවද තමන් තම නිවස අසල ඉඩමෙහි කුටියක් සාදා ඇති බවත්, වස් කාලය වැඩවිසීම සඳහා ස්වමීන්වහන්සේ නමකට ආරාධනා කිරීමට කැමති බවත් දන්වා සිටියහ.

වැඩිහිටි ස්වාමීන්වහන්සේ ටික දිනකින් සිතුල්පව්ව විහාරස්ථනයට වැඩමකර දෙමාපියන්ගේ කැමත්ත පුත්‍ර ස්වාමීන්වහන්සේට දන්වා වස් කාලය තුල දෙමාපියන්ට අනුග්‍රහ කරන මෙන් උපදෙස් දුන්නහ. මේ තරුණ රහතන්වහන්සේ අනුරාධපුර විහාරස්ථානයට වැඩමකර එහි සිටිනාවිට, පියා පැමිණ එහි නේවාසික ස්වාමීන්වහන්සේගෙන් තමන් විසින් සදා නිමකල තාවකාලික කුටියෙහි වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් ලබාදීම පිළිබඳව මතක්කර සිටියේය. නේවාසික ස්වාමීන්වහන්සේ පුත්‍ර ස්වාමීන්වහන්සේට ඒ බව දන්වන ලදුව, උන්වහන්සේ එම කුටියෙහි වස් සමාදන් වී එම වස්කාලය එහි වැඩ වසන්නට විය. බොහෝ කලකින් දුටු නිසාද, කුඩා කලදීම පැවිදි වීම නිසාද දෙමාපියන්ට මේ තම පුත්‍රයා බව හඳුනාගැනීමට නොහැකි විය. මේ රහතන්වහන්සේද ඒ බව විශේෂයෙන් සඳහන් නොකර වස් කාලය පුරා එම නිවසට පෙරවරුවේ පමණක් දානයට වැඩමකර, ධර්මයෙන් අනුශාසනා කලහ. 

වස් තුන් මස පුරාම නිවැසියන් මේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කල යුතු සියළු උපස්ථානයන් සිදුකර, වස් අවසානයේ වැසි සළුවක්ද සකස්කර පූජා කලහ. උන්වහන්සේ වැසි සළුව පිළිගෙන නැවත සිතුල්පව්වට වඩින අතරමගදී ආපසු අනුරාධපුරයට වඩින ගුරු ස්වාමීන්වහන්සේ හමුවී, විස්තර පවසා වැසි සළුව උන්වහන්සේට පූජාකර සිතුල්පව්වට වැඩම කලේය.

ආපසු ගමට වැඩමකර ගුරු ස්වාමීන්වහන්සේ හමුවූ දෙමවුපියන් තම පුත්‍රයා කොහිදැයි විමසූ විට, මෙතෙක් කලක් ගෙදර කුටියෙහි වස් විසුවේ පුත්‍රයා බවත්, අල්පේජ්‍ය බව නිසා සඳහන් නොකරන්නට ඇති බවත් පවසා, තමන් වහන්සේට පූජා කල වැසි සළුවද පෙන්වා සිටියේය. මින් බොහෝ සතුටට පත් දෙමවුපියන් සිතුල්පව්ව පැත්තට හැරී වන්දනා කරමින් තම පුත්‍රයාගේ අල්පේජ්‍ය බව පිළිබඳව බොහෝ සතුටු විය.

අල්පේජ්‍ය භාවය පිලිබඳව සඳහන් වන මෙම කතා පුවතෙන් එකල වස් විසීම සහ වැසි සළු පූජාව පිළිබඳව බොහෝ කරුණු හෙලිදරව් වෙයි.

නිවැසියන් තම නිවසට නුදුරෙහි කුටියක් සාදා වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් වැඩමකරවා ගත්හ.

මුළු වස් කාලය පුරාවටම උන්වහන්සේට බණ භාවනා පිණිස සියළු පහසුකම් සපයා දුන්නහ.

සියළු උපස්ථානයන් මාස 3ක් පුරා සිදුකලහ.

මාස 3ක් පුරා විශේෂයෙන් සකසා උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කලහ.

ඒ සෑම දිනකම උන්වහන්සේගෙන් ධර්මය අසමින් ඉගෙනගත්හ.

වස් කාලය අවසානයේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කල චීවරයක් පූජා කලහ.

මෙලෙස මාස තුනක් පුරා උන්වහන්සේට උපස්ථාන කරමින් ධර්මය ඉගෙනීමෙන් සිට අවසානයේ පිංකමෙහි අවසාන අංගය ලෙස වැසි සළුවක් පූජා කිරීමෙන් මහා පිංකමක් අවසන් කරයි.

තම නිවස අසලින් හෝ වෙනත් තැනකින් කුටියක් සෑදීමට නොහැකිනම්, ගමේ විහාරස්ථානයේම වස් වැසීමට ආරාධනා කල හැක. එහිදී එම තුන් මාසය පුරාවටම  ස්වාමීන්වහන්සේලාගේ භාවනා සහ බණ දහම් ඉගෙනීම ආදිය සඳහා තමාට කලහැකි සියළු උපස්ථානයන් සිදුකල යුතුය. දිනපතා සවස විහාරයෙහි වතාවත් කල යුතුය. ධර්මය ඇසිය යුතුය. සාකච්ඡා කලයුතුය. ඉගෙනගත යුතුය. එසේ ඉගැන්වීම, කියාදීම වස් වසන ස්වාමීන්වහන්සේගේ යුතුකම වන්නේ උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ දායක පිරිස මාස 3ක් පුරා වෙහෙස මහන්සි වන බැවිනි.

දායක පිරිස දිනපතා මාස 3ක් පුරාවට උපස්ථානයෙන්, වතාවත් කිරීමෙන් සහ දානයෙන් ස්වාමීන්වහන්සේට ධර්ම මාර්ගයට අනුග්‍රහ කරයි.

ස්වාමීන්වහන්සේ දිනපතා මාස 3ක් පුරාවට ධර්මය කියාදීමෙන්, අඩුපාඩු පෙන්වාදීමේන් දායක පිරිසට අනුග්‍රහ කරයි.

මෙම මහා තුන් මාසික අනුග්‍රහය වස් පවාරණයෙන් සහ වැසි සළුවක් හෙවත් වැසිකාලයෙන් පසු පෙරවීමට නව චීවරයක් පූජා කිරීමෙන් අවසන් වෙයි.

මෙලෙස අවසන් කල පින්කම් මාලාවෙහි ගුණය මෙතෙකැයි පැවසිය නොහැකි තරම්ය.

Image from with Thanks: https://www.pinterest.com/pin/434667801518702308/

Tuesday, November 8, 2016

පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්

රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ විට එකිනෙකා පිළිබඳව විමසිලිමත් වීමත්, එකිනෙකාව මැන බැලීමත් අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙවැනි හමුවකදී එකිනෙකා මැනගැනීමට නිරායාසයෙන්ම අප මනස යොදාගන්නා කරුණු 9ක් පිළිබඳවයි මෙම සටහන.

Friday, November 4, 2016

කාලි

කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ උත්සාහය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. පරිගණක සහ පරිගණක ජාල ලෝකයෙහි මහත් පෙරැළියක් සිදුකරමින් යන කාලි පිළිබඳවයි මේ සටහන.

Monday, October 31, 2016

කළගුණ සැලකීම

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී මේ උපාසකතුමා තම දුක කියන්නට විය. ඔහුට දරුමල්ලන් සිටි බවත් දැන් කාත් කවුරුත් නොමැති බවත් රැකියාවක් කිරීමට අපාසු තරම් ඉතාම වයස බැවින් අසරණ තත්වයට වැටී ඇති බවත් පවසමින් හඬාවැටෙන්නෙට විය. තමන්ට පිහිටවන ලෙස ඉල්ලා සිටින්නට විය.

Thursday, October 27, 2016

පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක්

පෙනහළු පිළිකා යනු අප රටට ආගන්තුක මාතෘකාවක් නොවෙයි. මේ පිලිබඳව විවිධ සාකච්ඡා මෙන්ම දැනුවත්කිරීමේ වැඩසටහන්ද නිතර සිදු වෙයි. පෙනහළු පිළිකා ඇතුළු අනෙක් සියළුම පිළිකා වර්ගයන්, මූලික අවදියේදීම හඳුනාගැනීම, ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවේද මගින් සුවකිරීමට විශාල වාසියක් සපයයි.

ගූගල් විද්‍යා ප්‍රදර්ශණයේ ජයග්‍රහණයක්ද ලබමින් 16 හැවිරිදි මැලේසියානු ශිෂ්‍යයෙක් මෙම පෙනහළු පිළිකා හඳුනාගැනීමට ඉතාම ලාභදායී ක්‍රමවේදයක් සොයාගෙන ඇත.

Monday, October 24, 2016

පරිගණකයේ නවතම මුහුණුවර

Ockel Sirius A
සාක්කු පරිගණක (Pocket PC) ඉතාම පැරණි සංකලපයක් වුවද, තාක්ෂණික ගැටළු නිසාම, සාමාන්‍ය පරිගණකයක් ලෙසින්ම භාවිතාකල හැකි සාක්කු පරිගණකයක් නිපදවීම තරමක් ප්‍රමාද වී පැමිණි සිහින සැබෑවීමකි. මේ නිසා PDA හෙවත් පෞද්ගලික අංකිත සහයක උපකරණ වෙළදපොලට හඳුන්වා දෙමින් එම අඩුව පිරවීමට නිෂ්පාදකයන් උත්සාහ ගනුලැබුවේ 2000 වර්ෂය කාලයේදී පමණය. මේ සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ජංගම සංස්කරණයක් (Windows Mobile Version) විශේෂයෙන් හඳුන්වාදෙනු ලැබීය.

Friday, October 21, 2016

නැකත

’’මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පෙරවරු කාලයෙහි කයින් සුචරිතයෙහි හැසිරෙද්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙද්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙද්ද, මහණෙනි, ඒ සත්ත්‍වයන්ට යහපත් පෙරවරු කාලයක් වෙයි.

Monday, October 17, 2016

සම මතින් දත්ත සම්ප්‍රෙෂණය

රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල බහුලව භාවිතා වන තරමක් දියුණු තාක්ෂණික ක්‍රමයක්. මෙහිදී අප ගෙන යන උපකරණයක් මගින් මුර පදය නො එසේනම් රහස් පදය වාතය හරහා විකාශණය කරනු ලබන අතර, ඊට අදාල අගුල  විකාශණ ආවරණ කලාපයේ පවතීනම් විවර වෙයි. මෙය  දොරවල් විවෘත කිරීමේ සිට වාහනය පණගැන්වීම දක්වා විවිධ අංග මෙම අගුළු හැරීමේ උපකරණ තුල ඇත.

Tuesday, October 11, 2016

අන්තර්ජාතික බ්ලොග් ලෝකය

බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත් දුලභද නොවෙයි. නමුත් මේ බ්ලොග් ලෝකයේ අන්තර්ජාතික පරිච්ඡේදය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් කීපයක්.

අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.

Friday, October 7, 2016

රැම්බෝ


කර්නල් සැමුවෙල් ට්රවුට්මන්:
"මේ පිස්සු යකා.... රැම්බෝ.... "
"
රැම්බෝ... ඒක කරන්න එපා..මං කියන දේ අහපන්උඹට කිසිම අවස්ථාවක් නෑඔය තුවක්කුව බිම දාපන්හෙලිකොප්ටරයක් එනව උඹව බ්රාග් වලට අරන් යන්න. "

"ඒයි...වෙඩි තැබීම නවත්වන්නවා...."

Tuesday, October 4, 2016

දිලිසෙන දේවල් එකතු කිරීම.

පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. මෙම කුරුල්ලන්ගේ විශේෂත්වය මෙවන් දිලිසෙන දේවල් (වීදුරු කැබලි, අභරණ වැනි දේ)රැගෙන ගොස් තම කූඩුවෙහි හෝ වෙසෙන පරිසරයෙහි අවට තබාගැනීම සහ එවැනි දිලිසෙන දේවල් ලබාගැනීම සඳහා ඔවුන් අනතුරුද නොසලකා නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමයි.

Friday, September 30, 2016

ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු

"මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ"
ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ


ක්‍රි:පූ: 26-19 වලගම්බා රජු කල පාලි භාෂාවෙන් හෙළ අකුරින් ග්‍රන්ථාරූඩ කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය පුස්කොළ මතින් ශතවර්ශ 20ක් කාලය හරහා පැමිණ ක්‍රි:ව: 1956 වර්ෂයට යෙදී තිබුණු 2500 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සිංහල භාෂාවට පරිවර්ථනය වී බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව නමින් මුද්‍රණ ද්වාරයෙන් එලිදැක්කේය.

Thursday, September 29, 2016

NASA එකේ RAMA ව්‍යාපෘතිය

NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය වන RAMA හී අරමුණ IEEE Spectrum සඟරාවේ මේ පිලිබඳව සඳහන් කරන තාක්ෂණික ලේඛක එවන් ඇකමන්ට ( Even Ackerman ) අනුව අභ්‍යාවකාශයෙහි සැරිසරන ඇස්ටරොයිඩයක් (Asteroid) හෙවත් ග්‍රාහකයක් අභ්‍යාවකාශ යානාවක් බවට පත්කර එය පෘතුවිය වෙත ගෙන ඒම.

Tuesday, September 27, 2016

කලියුග කාලෙක


කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි. මෙවන් ගුණ ධර්ම පිරිහුණු යුගයක ඉපදුනු නුවණක්කාරයොනම් මෙම ගුණධර්ම පිළිබඳව අවබෝධයෙන් සිටි බව පෙනෙයි. මෙවන් නුවණක් සහිත දෙදෙනෙක් ගම්පොල හෙවත් උඩරට සහ රයිගම හෙවත් පහත රට අතර දිවෙන ප්‍රධාන මාර්ගයේදී හමුවී හොඳින් සෙවන දෙන මාර ගහක් යට ගිමන් හරින අතර තුර සිදුකරන මේ සාකච්ඡාව තම ප්‍රදේශ වල ගුණධර්මය පිළිබඳව වීම බොහෝ විට දෙදෙනාගෙම බුද්ධියට සහ මතයන්ට ගැළපෙන්නකි.

Friday, September 16, 2016

ජීවිතේ.......

ජීවිතය පිළිබඳව බුදුපියාණන් වහන්සේ දේශණා කරනු ලැබුවේ කුමක්ද? බොහෝ දෙනාගේ පිළිතුර වනුයේ දුකයි යනුවෙන් දේශණා කල බවයි. නමුත් එය අසත්‍යයක් වන අතරම බුදුපියාණන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා කිරීමකි. නමුත් නොදන්නාකම නිසාම එසේ සිතන බැවින් මෙලෙස සටහන් කිරිමට සිතුවෙමි.

Friday, September 9, 2016

පාපිස්සක් වගේ ......

“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට, දෙශනා කරන්ට, පනවන්ට, පිහිටුවන්ට, විචරණය කරන්ට, විභාග කරන්ට, ප්‍රකට කරන්ට සමර්ථවේයයි.”
 ~ සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරිපණ්ණාසකය - විභංග වග්ගය - සච්ච විභංග සූත්‍රය ~

Monday, September 5, 2016

පුණ්‍ය ක්‍රියා -1 (දානය)

පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ දේශණා කීපයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කිරීමට අදහස් කරමි.දානය යනු දීමයි.එනම් කිසිම දෙයක්, අවම තරමින් ස්තූති, ප්‍රශංසාවක් පමණවත් නැවත බලාපොරොත්තු නොවී තමා සතු දෙයක් තවත් අයෙකුට දීමයි.මෙහිදී දානය තුන් ආකාර වෙයි.වස්තු දානය,අභය දානය,ධර්ම දානය ලෙසයි.මෙහිදී වස්තු දානය යනු තමා සතු වස්තුව දීමයි. අභය දානය යනු ජීවිතය ලබාදීමයි. ධර්ම දානය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ශ්‍රී සද්ධර්මය ලබාදීමයි.

මෙහිදී ධර්ම දානය බුදුරජාණන් වහන්සේගේ ධර්මයම, ඒ ශ්‍රී සද්ධර්මයම එලෙසම කියා දීමයි. ත්‍රිපිඨක ධර්මයම කියාදීමයි. තම මතයන් හෝ තමන්ගේ ඉගෙනීම්, අවබෝධයන් හෝ තේරුම් ගැනීම් නොව පැහැදිලි ත්‍රිපිඨක ධර්මයම එලෙසින්ම කියාදීමයි. එය ඉතාම වැදගත් වන අතරම ත්‍රිපිඨකයෙන් පරිභාහිර දේ කියා දීම, ධර්මය ලෙස දැක්වීම හෝ අර්ථකථනය කිරීම අකුසලයක් වන බවද දැනගත යුතුය.

Wednesday, August 31, 2016

සෞඛ්‍යාරක්ෂිත දිනචර්යාව

පෙර ලිපියකින් විස්තර කල පරිදි නිවැරදි ස්නානය සෞඛ්‍යයට කරනු ලබන බලපෑම වැනිම තවත් බොහෝ වැදගත් කරුණක් වනුයේ දෛනික ජීවන පැවැත්මයි. සුපුරුදු පරිදිම මෙම ලිපිය මැණික්හින්නේ පදිංචි ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතාගෙන් ලබාගත් තොරතුරු සහ අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු ඇසුරෙන් සකස්කරන ලද්දක්.

දින චර්යාවේ මූලිකම අංගය වන උදෑසන පිබිදීමත් සමඟම වතුර වීදුරුවක් හෝ දෙකක් පානය කිරීම ඉතාම වැදගත්. එනම් 500ml පමණ වන ජල පරිමාවක්. මෙයින් පසුව වැසිකිලි යෑමේ අවශ්‍යතාවය සාමාන්‍ය දෙයක් වන අතරම උදෑසන ශරීරය පිරිසිදු කිරීමේ කාර්යයද මේ සමඟම සම්පූර්ණ කරගත හැක. ඒ අතරතුර උදෑසන තේ පානයෙන් වැලකීමට පුරුදුවිය හැකිනම් එය බොහෝ වටිනා සෞඛ්‍ය පුරුද්දක් විය හැක.

Tuesday, August 23, 2016

නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන

මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්.

ස්නානය හෙවත් නෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කලයුත්තේ, එය ශරීරය පිරිසිදු කිරීමෙන් විශාල වශයෙන් වෙනස් වන නිසයි. වර්ථමානයේ බොහෝවිට ස්නානය සහ ශරීරය පිරිසිදු කිරීම (Bath & Shower) පටලවා ගනිමින්, යම් තරමකින් හිස සහ කය තෙමාගනිමින්, කුණු දුහුවිලි සෝදාහැරීමකට පමණක් එය සීමා කරනු ලබන ස්වාභාවයක් පෙනෙයි.

එසේනම් හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පිරිසිදු කිරීම සහ ස්නානය වෙනස් වන්නේ කෙසේද?

Friday, August 19, 2016

දියුණුවේ රන් දොරටු

ව්‍යග්ගපජ්ජ සුත්‍රය තමයි අද විස්තර කරල දෙන්න හිතුවෙ.නිතරම පොත්පත් පවා ලියවී ඇති මේ දියුණුවේ රන් දොරටු කියන මාතෘකාව ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ,ඒ ගැන කියවපු හැම පොතක්ම වගේ,ලිපියක්ම වගේ සූත්‍ර පිටකයේ, අට්ඨක නිපාතයේ, ගෝතමී වග්ගයේ සඳහන් වෙන මේ සුත්‍රය ඇසුරෙන් සකස්කර තිබුනු බව පෙනුනත් සූත්‍ර දේශණාවෙ කරුණු ඒ විදිහටම පැහැදිලි කිරීම වටිනව කියන අදහසින්.මොකද අපේ වචන වල ඇති වැදගත්කමක් නෑනෙ ධර්මය පැත්තෙන් ගත්තම.බුදුපියාණන් වහන්සේගේ වචන වල තමයි සැබෑම වටිනාකම තියෙන්නෙ.අපේ සුභසිද්ධිය උදෙසාම ඒ වචන පෙළගස්වලා තියන නිසා.
දීඝජාණු කියන කෝලිය පුත්‍රයා බුදුපියාණන් වහන්සේගේන්,
’’ස්වාමීනී,ගිහිව පංච ඉන්ද්‍රියයන් පිනවමින් සතුටු වන අපි,දූ දරුවන්,නෑදෑ හිතමිතුරන්ගේ සමාගමයෙන් වාසය කරමු.වටිනා ඇඳුම් පැළඳුම් භාවිතා කරන්නෙමු.රන්,රිදී ආදියද මුදල්ද පරිහරනය කරනෙමු.එසේ වූ අපට මෙලොව යහපත පිණිසත්, පරලොව සැප පිණිසත් වන්න වූ ධර්මයක් දේශණා කරන සේක්වා.’’
කියල කරපු ඉල්ලීමට තමයි උන්වහන්සේ මේ දේශණාව සිදුකලේ.

Thursday, August 18, 2016

පොල් සහ අපේ ආහාර රටාව

මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික දැනුම සමාජයෙන් ගිලිහිලා තියන බව පේන නිසා ලියන්න හිතුවා.මේ විස්තර ටික අපිටත් කියල දුන්නෙ ඇල්ලියද්දේ දයාරත්න වෙදමහත්තයා.දැනට මහනුවර - වලල ප්‍රදේශයේ තමයි මෙතුමා පදිංචිව සිටින්නෙ.

පොල් කියන්නෙ කප් රුක කියලනෙ කියන්නෙ.මේ කුලයෙ වර්ග ගොඩක් එහෙමත් තියනව.පොල් වලට අමතරව,තැඹිලි,කුන්දිරා,නවසි වගේ වර්ග.තැඹිලි ගත්තමත් සාමාන්‍ය තැඹිලි වලට අමතරව රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලත් වර්ග 2ක් තියනව. මීටත් අමතරව පොදුවේ භාවිතා නොවන වර්ග ගොඩක් තියනව.මෙතනින් වැඩි විස්තර බලාගන්න පුළුවන්.

Monday, August 15, 2016

අලුත්ම අන්තර්ජාලය (Internet of Things)

අන්තර්ජාලය කියන්නෙ මොකක්ද කියල හැමෝම දන්නවනෙ.මේ කියන්න යන්නෙ ඒ අපි දන්න අන්තර්ජාලයේ තවත් පැතිකඩක් පිලිබඳව. පරිඝණක අතර ජාලයක් තමයි මේ අපි පාවිච්චි කරන අන්තර්ජාලය.ඒකෙ දිගුවක් විදිහට තමයි, එහෙමත් නැත්නම් තවත් පියවරක් තමයි එහෙමත් නැත්නම් තවත් නව කොටසක් තමයි දේවල් වල අන්තර්ජාලය (Internet of Things).කෙටියෙන් IoTකියන්නෙ.

ඒ කියන්නෙ මයික්‍රො ප්‍රොසෙසරයක් ඇති ඕනෑම උපකරණයක් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම.නවීන ඉලෙක්ට්‍රොනික් උපකරණ බොහොමයක මේ පහසුකම තියනව.නවීන කාර් ඇතුළු රථ වාහන,ශීතකරණ,රෙදි සෝදන යන්ත්‍ර,රූපවාහිනී යන්ත්‍ර,කෝපි යන්ත්‍ර,විදුලි ලාම්පු වල පවා මේ පහසුකම තියනව.මේ සියල්ල අන්තර්ජාලයට සම්බන්ධ කලාම ලැබෙන ජාලයට තමයි දේවල් වල අන්තර්ජාලය කියල කියන්නෙ.

Sunday, August 14, 2016

වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර

ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට පැවති සෑම සමාජ ක්‍රමයකම පුද්ගලයන්ගේ මෙම මූලික අවශ්‍යතා ලබාගැනීමේ හැකියාව අනුව සමාජ, පුද්ගල වර්ගීකරණයද සිදුවුනි. සමාජ ක්‍රමය තුල මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදය අනුවම සමාජ ක්‍රමයද වර්ගීකරණය විය.

මෙම මූලික අවශ්‍යතාවයන්වෙළඳ ක්‍රමවේදයක් තුලින් තීරණය කරන ක්‍රමය වෙළඳ සමාජයක් ලෙස හඳුන්වනු ලබයි.වර්ථමාන සමාජ ක්‍රමය පැහැදිලිවම වෙළඳ සමාජයක් ලෙස අර්ථදැක්විය හැකි ස්වාභාවයක් පෙනී යයි. සියළු මූලික අවශ්‍යතාවයන් වෙළඳපොල මත තීරණය වන බැවිනි.වර්ථමාන සමාජ වටපිටාව දෙස බැලීමේදී පෙනීයන මූලික කරුණක් වනුයේ වෙළඳපොල මගින් මූලික මිනිස් අවශ්‍යතා මත කරනු ලබන බලපෑමයි.

Saturday, August 13, 2016

ජංගම දුරකතනයෙන් Hi-Fi සිංදු අහමුද?


YAMAHA Multicast Hi Fi Music System
ජංගම දුරකතනයෙන් සිංදු අහන එක අළුත් දෙයක් නෙවෙයි. අපි හැමෝම ඒක කරනවනෙ.ඒත් මේ කියන්න යන්නෙ ඒ සිංදු අහන එක වෙනස් විදිහකට කිරීමක් ගැන.

අපි සාමාන්‍යයෙන් ජංගම දුරකතනයෙන් අහන්නෙ MP3 වගේ ශබ්දයේ ගුණාත්මක භාවය අඩු සිංදුනෙ. ඒ කියන්නෙ SOUND QUALITY අතින් ගත්තම සංගීතයේ ගුණාත්මක භාවය අඩුයි. Hi-Fi වර්ගයේ සංගීත අහන්ඩ අමාරුයි. ඒකට ඒ වර්ගයේ විශේෂ වාදන යන්ත්‍ර භාවිත කරන්ඩ ඕන.මෙන්න මේ රූපයේ තියනව වගේ....

Friday, August 12, 2016

පින සහ කුසලය


නිතර නිතර මතු වන ප්‍රශ්ණයක් නිසාම මෙ ගැන පෝස්ට් එකක් ලියන්ඩ හිතුවෙ.මොකක්ද පින කියන්නෙ? ඒක කුසලයෙන් වෙනස් වෙන්නෙ කොහොමද? අපි බුද්ධ චරිතයේ බෝසත් කාලෙ සිදුවීමකින්ම පටන් ගනිමුකො.

ආර්ය පර්යේෂණ සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ දේශණා කරනව උන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කලේ " කිං සච්ච ගවේෂී, කිං කුසල ගවේෂී " කියන අදහසින්. ඒ කියන්නෙ "කුසලය යනු කුමක්ද?, සත්‍ය යනු කුමක්ද? " කියන දේ සෙවීම පිණිසයි උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කලේ. එකෙන් අදහස් වෙනව එකල කුසලය කියන්නෙ මොකක්ද කියල දන්නෙ නෑ කවුරුත්. බුදුරජාණන් වහන්සේ තමයි හොයගත්තෙ කුසලය කියන්නෙ මොකක්ද කියල.

Wednesday, August 10, 2016

නවතම ජංගම දුරකතන තිර අඟුළු ( screen lock ) ක්‍රමය

ජංගම දුරකතන ගැන කිවුවම තිර අඟුළු ( screen lock ) කියන්නෙ බොහෝ දෙනා දන්නා කරුණක්. විවිධ අඟුළු ක්‍රම දැනටමත් ලොකය පුරා සෑම ජංගම දුරකතන නිපැයුම් සමාගමක්ම භාවිතා කරන අතරම ඇඟිලි සලකුණු ක්‍රමය සහ මුහුණු හඳුනාගැනීමේ ක්‍රමය නවතම ක්‍රම ලෙස සැලකෙනව.

නමුත් මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ මැලේෂියාවේ ක්වාලාලම්පූර් නගරයේ  පැවති  'සන්නිවේදනය පිළිබඳව IEEE ජාත්‍යන්තර සමුළුවෙදි' ජංගම දුරකතන සඳහා වන නවතම ආරක්ෂක අගුළු ක්‍රමයක් හඳුන්වාදීල තියනව.බ්‍රසීලයේ ෆෙඩරල් ඩි මිනාස් ගෙරයිස් (Universidade Federal de Minas Gerais in Brazil) විශ්ව විද්‍යාලයේ ආතර් ලුවිස් ඩි zසූසා (Artur Luis de Souza) ප්‍රධාන ශිෂ්‍ය කණ්ඩායමක් තමයි එයාලගෙ පර්යේෂණයක ප්‍රතිඵලයක් වුනු මේ NomadiKey කියන නවතම ක්‍රමය ඉදිරිපත් කලේ. ව්‍යාපෘතියේ උපදේශක වුනේ ලියනඩෝ ඔලිවේරා (Leonardo Oliveira).

Tuesday, August 9, 2016

කාලය

නිතර සාකච්ඡාවට භාජනය වන කාලය වැනි මාතෘකාවක කිසිම නැවුම් බවක් නැහැ තමයි. ඒත් කාලය ගැන බුදු දහමෙන් කියල දෙන කරුණු කීපයක් හම්බවුනු නිසා ඒ ටික සටහන් කරන්ඩ හිතුනා.

බුදුරජාණන් වහන්සේ කාලය ගැන දේශනා කරපු ප්‍රධානම කරුණ අපි හැමෝම දන්න දේශනා පාඨයක්. ඒ තමා "අප්පමදෝ අමතපදං" කියන ධම්මපද ගාථාව. තවත් තැනක බුදුරජානන්වහන්සේ දෙශණා කලා "මේ මුළු සද්ධර්මයම එකම වචනයකට ගොනු කරන්න පුලුවන්. ඒ තමයි අප්‍රමාදය" කියලා. ඒ කියන්නෙ, මේ දැන්, මේ මොහොතෙම කියන එක.

Monday, August 8, 2016

නොමිලේ ඉංජිනියරින් ඉගෙන ගනිමුද?


ඉන්දියාව තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියෙන් සිටින්නේදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. අපේ අසල්වාසියා වන ඉන්දියාව ලබා ගත් මේ දියුණුවට විවිධ හේතු ඇතත්, ඒවා ගැන කතා කිරීම දේශපාලන සාකච්ඡාවක් වන බැවින්, ඊට වඩා වැදගත් කරුණක් ඉදිරිපත් කරන්නට අදහස් කිරීම වටී.

තාක්ෂණයෙන් බලගන්වනලද ඉගෙනීම - ජාතික වැඩසටහන. (NPTEL- National Program of Technology Enhanced Learning) යනු මෙලෙස නොමිලේ ඉංජිනියරින් ඉගෙනගැනීම සඳහා වන ඉන්දියානු ජාතික වැඩසටහනයි. එය ඉන්දියානු තාක්ෂණික ආයතන 7ක් එක්ව ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන සංවර්ධන වැඩසටහනකි. ඉන්දියානු මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ (MHRD) (ලංකාවෙ මා දන්න තරමින් මෙවැනි අමාත්‍යංශයක් තබා රාජ්‍ය ආයතනයක්වත් නොමැත) මුදල් වැය කරමින්, ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන (IIT) 7ක් වන බොම්බය, දිල්ලි, ගුවහටි, ඛාන්පූර්, ඛරග්පූර්, මදුරාසි හා රූර්කී සහ බැන්ගලොර් විද්‍යා ආයතනය එක්ව, තාක්ෂණික දැනුම අන්තර්ජාලය හරහා ලොකයේ ඕනෑම කෙනෙකුට නොමිලේම ලබා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

Tuesday, July 26, 2016

ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01


අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත් සාකච්ඡා වී තිබෙන වටපිටාවක තවත් අකුරු පිරවීම අනවශ්‍ය කාරණයක් බව ප්‍රත්‍යක්ෂ වුවද මේ ලිපිය දහම් පාසල් ගුරුවරුන් සම්බන්ඳ අදහස් අකුරු කිරීමක් නිසාම එය කාලය අපතේ හැරීමක් ලෙස මම නොසලකමි. බොහෝ විට දහම් පාසල් හෝ දහම්පාසල් ගුරුවරුන් පිලිබඳව මධ්‍ය හෝ සමාජය කථා කරන්නේ අය වැයෙන් දෙන දීමනාව හෝ විශේෂ සිදුවීම් අවස්ථාවක පමණක් වන බැවිනි.

අධ්‍යාපනික මට්ටමින් හෝ වෙනත් මාන අතින් අනෙක් ගුරුවරුන් අතරින් දහම්පාසල් ගුරුවරුයා වෙනස් වන්නේ ස්වෙච්ඡා සේවය නිසාම පමණක් බව මාගේ හැඟීමයි. බහුතරයක් දහම්පාසල් වල උගන්වන්නේ අධ්‍යපනයේ යෙදෙන ආධුනික තරුණ පිරිස හෝ විශ්‍රාමික වෘත්තිකයන්ය. බොහෝවිට විශ්‍රාමික ගුරුවරුම වේ. එබැවින් ගුරුවරයා සහ දහම් පාසල් ගුරුවරයා කාර්යභාරයන් අතින් සන්සන්දනය කිරීම අසාධාරණක් නොවන්නේමය.

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...