Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

Wednesday, August 28, 2019

පොතක් කෙටියෙන් - The Alchemist

Book Cover
"The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ කෘති අතර ඉහලින්ම තිබෙන්නක්. පාවුලෝ කොඑල්හෝ (Paulo Coelho) නම් බ්‍රසීලියානු ජාතික කතුවරයා විසින් පෘතුගීසි භාෂාවෙන් ලියා 1988 ප්‍රථමවරට ප්‍රකාශණයට පත්කරන ලද මේ පොත මුලින් එතරම් ජනප්‍රියත්වයක් හිමි නොවුනත්, මේ වනවිට පිටපත් කෝටි 6.5ක් විකිණී ඇති ලොව පුරාම අතිශයින් ජනප්‍රිය, ඒ වගේම භාෂා ගණනාවක්ට පරිවර්ථනය වුනු කෘතියක්. 1993 වර්ෂයේදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය වීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ආදරයෙන් වැළඳගත් මෙම කෘතිය එහි කතුවරයා ලෝක ප්‍රසිද්ධ කරන්න සමත් විය.

වයස අවුරුදු 72ක් වන පාවුලෝ කොඑල්හෝ මේ වනවිට පොත් 30කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශණයට පත්කර ඇති අතර ඔහුගේ කෘති පිටපත් මිලියන 150 කට වැඩි ප්‍රමාණයකි විකිණී ඇති බවයි වාර්ථා වන්නේ. 1947 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර සාමාන්‍ය පවුලක උපන් මොහු ලෝක ප්‍රසිද්ධ ගත්කතු වරයෙක් කිරීමට ඔහුගේ 04 වන කෘතිය වන "The Alchemist" පොතට හැකිවෙනව. අද වන විට ඩොලර් මිලියන 500ක වත්කමක් හිමි මෙම කතුවරයා ස්වීට්සලන්තයේ ජිනීවා නගරයේ පදිංචිව සිටිමින් තම සාහිත්‍ය කලා කටයුතු සිදුකරමින් සිටී.

ලොව වටා ග්‍රන්ථ ලෝලීන් මෙන්ම ලෝකප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඇදබැඳ තබාගැනිමට සමත් වූ නිසාම පමණක් නොවෙයි කියවීමෙන් ලැබුණු උත්තේජනයත්  මේ කෘතිය පිළිබඳව සටහනක් තැබීමට අදහසක් මතුකලා.
Paulo Coelho

සැන්ටියාගෝ (Santiago) නම්වූ බැටළු එඩේර තරුණයකු වටා ගෙතෙන මෙම කතාව සිහින දැකීමේ වැදගත්කම පිළිබඳවත් ඒ සිහින හඹායෑම පිලිබඳවත් සාකච්ඡා කරන ස්වයං මාර්ගෝපදේශණ ශෛලියේ කෘතියක්.

ස්පාඤ්ඤයේ අන්දලුසියා (Andalusia) ප්‍රදේශයේ සාමාන්‍ය ගොවි පවුලක උපත ලබන සැන්ටියාගෝ තරුණයා කුඩාකල සිටම තම කුඩා ගමෙන් පිට ලෝකය දැකීමේ ආශාවෙන් සිටින අතර එඩේරෙකු වීමෙන් තම ආශාව ඉටුකර ගැනීමට ඔහු බලාපොරොත්තු වන්නේ ඔවුන් නිතර ගමනේ යෙදෙන නිසාත් වසරකට වරක් පමණක් එක ස්ථානයක් හරහා ගමන් කරන නිසාත්. තම පියාගේ ආශිර්වාදය සමඟ ලැබෙන මුදලින් බැටළු පට්ටියක් මිලදීගන්නා ඔහු අන්දලුසියා ප්‍රදේශය පුරා සංචාරය කරමින් වසර කීපයක් කාලය ගතකරනව.

මේ අතරතුර ඔහුට රෑ නින්දේදී එකම හීනයක් නිතර නිතර පේන්න පටන්ගන්නව. ඒ තමයි ඊජිප්තුවේ ගීzසා පිරමීඩ අසලදී තමන්ට මහා ධන නිධානයක් හමුවීම. මේ තරුණයා ඒ ගැන නිතර සිතමින් තම බැටළු රැළ සමඟ ගමන් කරමින් වරාය නගරය පසුකරත්දී, ඔහුට රජ කෙනෙක් හමුවීමෙන් සහ ඔහුට ඇහුන්කන් දීමෙන් තමන් තම සිහිනය සැබෑකරගැනීමට පෙලඹෙනවා. එනම් ගීසාහී පිරමීඩ කරා ගොස් තමන් දුටු නිධානය සොයාගැනීම.

මෙතැන්සිට කතාව දිවයන්නේ මේ තරුණයා එම ගමනේදී මුහුණදෙන අභියෝග සහ බාධක හමුවේ ඔහු සාර්ථකත්වය කරා යන ගමන. මේ ගමනේදී ඔහුට තවත් සුවිශේෂී චරිත කිහිපයක්ම මුණගැහෙන අතර ඉන් වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ රසායණඥයා. ඔහු තරුණයාගේ ඉතා අසීරු අභියෝග වලදී ඉතාම කරුණාවෙන් ඔහුට මඟපෙන්වනවා.

Pyramids of Giza
මේ අභියෝග කිසිවක් කායික නොවන අතර, ඉතාම සරල තීරණ ගැනීම් වල සිට අසීරු මානසික ගැටළු දක්වා තරුණයාට මුහුණ දීමට සිදුවෙනව. කථාව දිගහැරෙනේ එම මානසික අභියෝග ජයගැනීම වෙනුවෙන් තරුණයා සිතන ආකාරය, තර්ක ගොඩනැගීම සහ විසඳුමක් දක්වා ගෙනයන තරුණයාගේ සිතීම් රටාවත්, ගමනේ අත්දැකීම් සග රැස්කරගත් දැනුම නිසා ඔහුගේ චින්තන හැකියාව සහ මානසික ශක්තිය දියුණුකර ගැනීම විදහා පෙන්වන අයුරින්.

පළමු අභියෝගය වන්නේ තමන් මෙතෙක් කාලයක් ජීවත්වුනු ක්‍රමය අතහැරිම සහ තමන් මානසිකව බැඳී සිටින බැටළු රැල අතහැරීමයි. එතැන්සිට මොකොල්ලකෑමට, ජීවිත තර්ජන වලට වැනි අභියෝග වගේම ඔහුට ව්‍යාපාර සාර්ථකත්වය සමඟ ධනයද, එය අත්හැර නැවත සිහිනය හඹායැමේදී බලය, කීර්තිය සමඟ ධනයද හමුවෙනව.

නමුත් ඔහු ඒ සියළු බාධාවන් ජයගනිමින් තම අරමුණ කරා යන ආකාරයත් එහිදී මුහුණදෙන මානසික සටන් ජයගන්නා ආකාරය විග්‍රහ කර ඇති ආකාරයත් නිසා පාඨකයා එය තමාගේ මානසික ස්වාභාවය සමඟ නිතැතින්ම සංසන්දනය කිරීමට පෙලෙඹවීම ඉතාම අපූරු අත්දැකීමක්.

සමාජය මුහුණදෙන පොදු මානසික අභියෝග සහ ඒවාට මුහුණදෙමින් නිවැරදි තීරණ ගැනීම පිළිබඳව සාකච්ඡා වීම නිසාම පාඨකයන් බොහෝදෙනෙක් මෙය "Inspirational" කෘතියක් ලෙස සලනකවා.

මොනවද මේ කතාව තුලින් ලැබූ දේ.....

1. සිහින දැකීම සහ ඊට බිය නොවිය යුතුය

මෙහි සිහින යනුවෙන් හඳුන්වන්නේ නින්දේ දකින සිහින නොවේ. කතාවේදී එසේ සඳහන් වුවද ඉන් සංකේතවත් කරන්නේ මිනිසුන් තම සාර්ථකත්වය වෙනුවෙන් දකින සිහිනයන්ය. ළමා කාලයේදී නිදහසේ සිහින දකින මිනිසුන් වැඩිවියට පැමිණීමත් සමඟින් එය නවතා දමයි. ජීවිතයේ වගකීම් තම කර මත වැටුනු සැනින් සිහින අමතක කරන බොහෝ මීනිසුන් තම එදිනෙදා ප්‍රශ්ණ ගැන වදවෙමින් ඒකාකාරී ජීවිතයට පුරුදු වෙයි. නමුත් සිහින දකින මිනිසුන් පමණක් තම ජීවිතය වෙනස් කරගැනීමට පෙළබෙයි.

2. තම අරමුණු තමන්ට ඉතාම පැහැදිලි විය යුතුය

සාර්ථකත්වය කරා යෑමටනම් සිහිනයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. තම ඉලක්කය තමන්ට ඉතාම පැහැදිලි විය යුතුය. ඉලක්කය වෙත යාමට තමන් සම්පූර්ණ කරගත යුතු අනු ඉලක්ක විග්‍රහ කරගත යුතුය. ඒ වගේම එම ඉලක්කයන් ලඟාකර ගැනීමෙන් තමා ලඟාකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු මොනවාදැයි පැහැදිලි අදහසක් අවශ්‍යය.

3. ආරම්භ නොකිරීමම යමක් කිරීමට ඇති පලමු බාධකයයි

ආරම්භකිරීමම මුළු වැඩෙන් 50%ක සම්පූර්ණ කිරීමක් ලෙස සලකනු ලබයි. (Starting is 50% completion itself). හේතුව අළුත් යමක් කිරීමට ආරම්භ කිරීමේදී තම ජීවිතයට සිදුවන වෙනස්කම් දරාගැනීමට, එනම්

i) පැරණි වැඩපිළිවෙල නිසා ලැබුනු තමා කැමති දේවල් අත්හැරීමටත්
ii) අළුත් වැඩපිළිවෙල නිසා තමන්ට ලැබීමට නියමිත තමන් අකමැති දේවල් බාරගැනීමටත්

ඇති අකමැත්ත සහ මානසික පසුගාමී ස්වාභාවය නිසා බොහෝ දෙනෙක් අළුත් යමක් ආරම්භ කිරීමට නොපෙලඹෙයි.

4. ‍අසාර්ථක වේවැයි බිය යමක් ආරම්භ කිරීමට ඇති දෙවන බාධකයයි

අසාර්ථක වේවැයි බිය (Fear of failure) ස්වාභාවිකය. එය හැමෝටම පොදු ස්වාභාවයකි. නමුත් ආරම්භ නොකිරීමෙන් ලැබෙන අළුත් කිසිවක් නොමැත. අලුත් දෙයක් කිරීමෙන් සැලසෙන්නේ වාසියම මිස අවාසියක් නොවෙයි.

i) සාර්ථක වුනොත් එහි ප්‍රතිඵල ලැබෙයි.
ii) අසාර්ථක වුනොත් නව අත්දැකීමක් සහ දැනුමක් ලැබෙයි.

එහි වාසියනම් නැවත යමක් කිරීමේදී පෙර අසාර්ථකත්වයේ අත්දැකීමෙන් නැවත එසේ වීම වලක්වා ගැනීමට හැකිවීමයි. මෙලොව කිසිම කෙනෙක් තමන් කරන සියළු දෙයින්ම සාර්ථක වී නොමැති අතරම සාර්ථකත්වය යනු එහි විග්‍රහයෙන්ම අසාර්ථකත්වයන් අතරින් ගොඩනගාගන්නා ජයග්‍රහණයන්ය.

5. විඳවීමට ඇති බිය විඳවීමට වඩා වේදනාකාරීය

අනාගතයේ මට මෙවැනි ප්‍රශ්ණ ඇතිවේයැයි සිතමින් බිය විම ඇත්තටම එම ප්‍රශ්ණයට මුහුණ දිමට වඩා මහත් වේදනාවකි. හේතුව, ඒ ගැන සිතමින් කාලයක් පුරාවට සිතින් විඳවීම ඉතාම අපහසු කරුණක් වන නිසාය. නමුත් ඇත්තටම ඒ ප්‍රශ්ණයට මුහුණදීම එතරම් අපහසු නොවිය හැක.

6. බොහෝ මිනිසුන් ලෝකය තමන්ට තර්ජනයක් ලෙස දකී. එවිට ලෝකයද අනිවාර්යවෙන්ම තමන්ට තර්ජනයකි

මුළු ලෝකයම තමන්ට විරුද්ධයැයි සැලකීම මගින් සිදුවන්නේ තමන් නොදැනුවත්වම තමා අවට පරිසරය වෙත තම අප්‍රසාදය සහ අකමැත්ත පෙන්වීමයි. එවිට නිතැතින්ම ඔවුන් ඊට ඒ සමාන අකාරයෙන්ම ප්‍රතිචාර දක්වන අතර එමගින් නැවතත් තම මතය ප්‍රත්‍යෂ කරගන්න ඔහු දිගින් දිගටම ලෝකයට විරුද්ධව වැඩ කරයි. මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වීම තමන්ට අවැඩක්ම මිස ප්‍රයෝජනවත් දැක්මක් නොවෙයි.

නමුත් මෙම චින්තනයේ විරුද්ධ පැත්තත් මෙවැනිම චක්‍රයක් ඇතිකිරීමට සමත් නිසා එය තම අරමුණු කරා යෑමට ඉතාම ප්‍රයෝජනවත් වන්නේය.

7. සිහින සැබෑකර ගැනීමට යෑමේදී ලෝකය විසින් අපගේ සියළුම හැකියාවන් උරගා බලනු ඇත

මින් අදහස් කරන්නේ යමක සාර්ථකත්වය ලඟාකර ගැනීමටනම් තමන්ගේ උපරිම උත්සාහය යෙදියයුතු බව සහ තම හැකියාවන් උපරිමයෙන් යොදවාගතයුතු බවයි. (100%  in or 100%  out. No middle ground is acceptable) යන්තම් කිරීම හෝ කර බැලීම ප්‍රමාණවත් නොවන බවයි. යමක් කරන්නේනම් තම උපරිමයෙන් කලයුතු බවයි.

8. තම හැකියාවන්හී සහ දැනුමෙහි සීමාවන් තේරුම් ගැනීමත් ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් අභියෝගාත්මකය

අසාර්ථක මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය ඔවුන් සියල්ල දන්නාබව සිතීමයි. යමෙක් සාර්ථක වන්නේනම් ප්‍රථමයෙන් තමන් සියල්ල නොදන්නා බවත් තමන්ට බොහෝ දේ ඉගෙනීමටත් පුහුණු වීමටත් අවශ්‍ය බවත් තේරුම් ගැනීම ඉතාම වැදගත්ය (Know yourself first). නමුත් සිහින සැබෑකරගැනීමේ ගමන ඉතාම ඉවසීමෙන් තම අඩුපාඩු තේරුම් ගනිමින් යායුතු ගමනකි.

9. තම දියුණුව යනු පෙර දින හිටි තමන්ට සාපේක්ෂව අද දින තමන්ගේ දියුණුවයි

දියුණුව යනු කිසිදා නිම නොවන ක්‍රියාවලියකි. තම දියුණුව තමන්ටම සාර්ථකව මැනිය හැකි එකම ක්‍රමය ඊයෙට වඩා අද තමන්ගේ ඇති වෙනස සොයාබැලීමයි (Day to day development). පසුගිය පැය 24 තුල තමන් අළුතින් ලබාගත් දියුණුවක් නොමැතිනම් ඒ පැය 24 අපතේ ගිය කාලයකි. එම නිසා දියුණුව කැමති මිනිසුන් නිතරම තම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනී. ස්වයං දියුණුව පෙර කල තමාට සාපේක්ෂවම දකී. කිසිවිටෙක අනෙක් අය සමඟ සංසන්දනය නොකරයි.

10. කිසිම සිහිනයක් එහි සියළුම අරමුණු ඉටුවන තාක් සම්පූර්ණ වූවා යැයි නොසැලකිය යුතුය.

සිහිනයක් සම්පූර්ණ වීම නැතහොත් ඉලක්කයක් සපුරාගැනීම යනු ඊට සම්භන්ද සියලුම අරමුණු හෝ අනු ඉලක්ක සම්පූර්ණ කරගැනීමයි. අතරමඟ නැවතීම හෝ අඩුපාඩු සහිතව කිරීම නියම් සම්පූර්ණ කිරීමක් නොවෙයි. (Get all or none)


ප්‍රබන්ධයක් තුලින් මෙවන් දැක්මක් පෙන්වීම මෙම කෘතිය ලෝකය පුරා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව විය.සියළුදෙනා සාර්ථක වීමට අතිශයින්ම කැමති නමුත් තමාගේ අභ්‍යන්තරයෙන්ම මතුවන බාධක තේරුම් නොගැනීම හෝ තෙරුම් ගත්තද ඒවායින් ගැලවීමට ක්‍රමවේදය නොදැනීම බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන ගැටළුවයි. "The Alchemist" ඒ මගපෙන්වීම ප්‍රබන්ධයක් තුලින් මනාව ඉටුකරයි.

Images from with thanks:
1. www.goodread.com
2. www.amazon.com
3. www.egypttoursportal.com
4. www.quoteambition.com


Tuesday, January 16, 2018

ගීතය සහ සංගීතය

සංගීත විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හෝ දැනුමක් නොමැති සාමාන්‍ය රසිකයන් වන අප හට ගීතය, සංගීතයට වඩා බොහෝ සමීපය. නමුත් අප ඇසීමට සහ රස විඳීමට තෝරා ගත යුත්තේ කිනම් ගීතද?

සන්නිවේදනය පෙරටුකොටගත් වර්ථමාන තාක්ෂණික සමාජය වෙත ලොව පුරා නන් දෙසින් එන විවිධ ප්‍රභේද වල ගීත රසවිඳිය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. pop, jazz, hip hop, classic, rock, blue, soul ආදි බොහෝ ප්‍රභේද මේ අතර ඇත. නමුත් සාමාන්‍ය ගීත රසිකයන් වන අප රසවිඳිය යුත්තේ මොනවාද?

ප්‍රබුද්ධ යැයි කියනා බොහෝ පිරිස්, බටහිර සහ පෙරදිග ලෙසින් බෙදා ඇති සංගීතයෙහි විවිධ නිර්මාණයන් අතරින් සම්භාව්‍ය සංගීතය හැදෑරූ ගායකයන්ගේ / නිර්මාපකයන්ගේ ගීත රසවිඳින්නන් උසස් කොට සැලකීම අප සමාජයේ සුලභ දෙයකි. ඔවුන් එයට සුභාවිත ගීතය යැයිද කියති. නමුත් සුභාවිත ගීත යනු සම්භාව්‍ය සංගීතය මුල්කොට උපන් ගීත පමණද?

සුභාවිත යනු යහපත් ලෙස භාවිතාකල යන්නයි. එබැවින් සුභාවිත ගීතය යනු යහපත් ලෙස භාවිතාකල ගීතයයි. "ආනන්දයෙන් ප්‍රඥාවට" යොදාගත් ගීතය සුභාවිත යනු මාගේ හැඟීමයි.

සමාජ පණිවිඩයක් ගීතයක් ලෙස ඉදිරිපත් කරනු ලබන නිර්මාණයක්, අසන්නා ආනන්දය හරහා ප්‍රඥාවට ගෙනයන්නක්නම් එහි ප්‍රභේදය ගැටළුවක් නොවන්නකි. පද රචනය අර්ථවත්නම්, ගීතයේ සංගීතය සහ ගායකයාගේ හඬ තුලින් ගීතයේ අර්ථය ඉස්මතුකරන්නේ නම්, සමස්තයක් ලෙස ගීතය රසය ඉස්මතු කරයි නම් සහ තමන්ට රසවින්දිය හැකිනම් එම ගීතයේ නිර්මාපකයන් හෝ ප්‍රභේදය හෝ රට හෝ භාෂාව හෝ වැදගත් නොවන්නකි.

රසිකයන් වන අප හට නම් වැදගත් නිර්මාණ පමණි.

Image from with thanks: https://en.wikipedia.org/wiki/Michael_Jackson

Tuesday, January 10, 2017

ශ්‍රී සද්ධර්මය


බොහෝ දෙනා බුදුදහම දර්ශණයක් ලෙසත්, තවත් අය එය ආගමක් ලෙසත් සලකති. නමුත් බුදුරජාණන් වහන්සේ දේශණා කරනලද සියලුම දේශණා වල ඇත්තේ වෙනත් දෙයක් බවයි මාගේ පෞද්ගලික හැඟීම. එනම් එය ජීවන ක්‍රමයකි. ජීවත් වීමට තවත් එක්තරා ක්‍රමයකි.
මෙය තමයි නිවැරදි දෙය. අනෙක්වා වැරදිය. යනාදී වශයෙන් තර්ක විතර්ක ගොඩනගමින් වාද විවාද කිරීම පිණිස නොවෙයි.

මේ ඒ සම්බන්ධ දේශණයකි.

“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.

“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. 
ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. 

යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. 

ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි."

.............

“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ග්‍රහණය කරගෙන සිටීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි”

 “එසේය. ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි, දීර්ඝ මාර්ගයක යන්නාවූ පුරුෂයෙක් සැක සහිතවූ භය සහිතවූ මෙතෙර ඇති සැක රහිතවූ භය රහිතවූ එතෙර ඇති මහත් සාගරය වැනි ජලයක් දක්නේය. ඔහුට එයින් එතෙරවීම පිණිස පැදයාහැකි නැවක් හෝ උඩින් යනු සඳහා ඒදණ්ඩක් හෝ නැත්තේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය.

 ‘මේ මහා ජලස්කන්ධය විශාලය. එහි මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැක රහිතය. භය රහිතය. එහා මෙහා යාම සඳහා නැවක්වත් ඒදණ්ඩක්වත් නැත. මම තෘණ ලී දඬු අතු කොළ ඇදගෙන පහුරක් බැඳ ඒ පහුර නිසා අත් පාවලින් පදිමින් සුවසේ එතෙර වන්නෙම් නම් යෙහෙකි’ (කියාය)

 මහණෙනි, ඉක්බිති ඒ පුරුෂ තෙම තෘණ ලීදඬු අතු කොළ රැස්කොට පහුරක් බැඳගෙන අතින් හා පයින් වෑයම් කරමින් සැපසේ එතෙරට යන්නේය.

“එතෙරට ගියාවූ ඔහුට මෙබඳු අදහසක් වන්නේය. 
‘මේ පහුර මට බොහෝ උපකාර ඇත්තේය. මම මේ පහුර නිසා අත් පාවලින් උත්සාහ කොට සැපසේ මේ මහ වතුරෙන් එගොඩ වීමි. මේ පහුර හිසෙහි තබාගෙන හෝ කරෙහි තබාගෙන හෝ කැමති තැනකට යන්නෙම් නම් යෙහෙකැ’යි (කියායි.) 

මහණෙනි, කුමක් සිතව්ද, එසේ කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙකැයි සිතන්නාහුද?”

“නැත, ස්වාමීනි.”

“මහණෙනි, කෙසේ ක්‍රියා කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙක් වන්නේද? 

මහණෙනි, එතෙරවූ ඒ පුද්ගලයාට මෙබඳු කල්පනාවක් වෙයි. 

‘මේ පහුර මට බොහෝ උපකාරවත් විය. මේ පහුර නිසා මම අතින් පයින් වෑයම් කරමින් සැපසේ එතෙර වීමි. මේ පහුර ගොඩට ඇද දමා හෝ දියෙහි පාකර යවා හෝ කැමති තැනට යන්නෙම් නම් යෙහෙක’ (කියායි)

 මහණෙනි, මෙසේ කරන්නාවූ ඒ පුද්ගලයා වනාහි ඒ පහුරට නියම කටයුත්ත කරන්නෙක් වන්නේය. එසේම මා විසින් තොපට ධර්මය පහුරකට උපමා කොට දෙශනා කරන ලද්දේය. එය එතරවීමට මිස ග්‍රහණය කරගෙන සිටීමට නොවේ. මහණෙනි, ධර්මය පහුරකට උපමා කොට දෙසනලදැයි දන්නාවූ තොප විසින් ධර්මයෝද දුරු කටයුත්තාහ. අධර්ම ගැන කියනුම කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි."


ත්‍රිපිටකය- සූත්‍ර පිටකය - මජ්ඣිම නිකාය -   මූල පණ්ණාසකය - ඕපම්ම වර්ගය - 2. අලගද්දූපම සූත්‍රය ( ධර්මය පහුරට උපමා කොට වදාළ දෙසුම )

සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් -  pitaka.lk

Image frim with Thanks : https://www.pinterest.com/pin/535717318147350703/

Saturday, November 19, 2016

දහම්පාසල් අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව

ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි.

1. තමන් උගන්වන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ප්‍රගුණභාවය..

2. න්‍යායාත්මක ඉගැන්වීමේ සහ ප්‍රායෝගික පුහුණු කිරීමේ හැකියාව.

පාසල් අධ්‍යාපනය ප්‍රමුඛ ප්‍රධාන ධාරාවේ ගුරුවරු මේ දක්ෂතා වලින් යුක්ත බව අවිවාදිතය. 

දහම්පාසල් තුල මෙම තත්වය කෙසේද ?

එය තීරණය වන්නේ දහම් පාසල් පද්ධතිය තුලින්ඉ ගැන්වීමට බලාපොරොත්තු වන දේ අනුවය. දැනුම ලබා දීම අතින් දහම්පාසල් වල තත්වයේ එතරම් වෙනසක් නැත.

නමුත් දහම්පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තුව දැනුම පමණක් නොවේ. ගුණගරුක සහ ධාර්මික, යහපත් දරු පිරිසක් බිහි කිරීමයි. 

එනම් දහම් දැනුම මෙන්ම ප්‍රායෝගික බෞද්ධ දරු පිරිසක් බිහි කිරීමයි. එතුළින් යහපත් සමාජයක් බිහි කිරීමයි.

ඒ සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම සහතික, කුසලාන කේන්ද්‍ර කරගත් තරඟ, සාර්ථක ක්‍රමයක් ලෙස නොපෙනෙයි. එබැවින් දහම්පාසලකට එම අධ්‍යාපන ක්‍රමවේදය නොගැළපෙන්නේය යන්න මාගේ හැඟීමයි.

බෞද්ධ දර්ශනයේ  ප්‍රායෝගික භාවිතය දහම්පාසල් ගුරුවරුන් අතර එතරම්ම ප්‍රචලිත නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමද එසේමය.

බෞද්ධ දර්ශණයේ ගැඹුර මෙන්ම එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම නොදැනුවත්කම මෙන්ම බෞද්ධ දාර්ශණික අත්දැකීම් මද වීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය එහි මූලික අරමුණින් බැහරව තරඟකාරී පරිසරයටම වැටී ඇති අතරම ඉන් වන සේවාවද අවම වෙමින් පවතී.

ප්‍රායෝගික සහ න්‍යායතමක දැනුම සහ අත්දැකීම් තුලින්, " අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.
  

Monday, November 14, 2016

වැසි සළු පූජාව

කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු පිළිබඳව කතා පුවතකි මේ.

අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා පවුලකින් තම එකම පුත්‍රයා කුඩා කලදීම මහණ කරනු ලදුව, ඉතාමත් මහන්සියෙන් බවුන් වඩා මේ භික්ෂූන්වහන්සේ අරහත්වයට පත් වී සිතුල්පව්ව විහාරස්ථානයේ වැඩවසයි. වසර ගණනාවකට පසු තම පුත්‍රයා දැකගැනීමේ ආශාවෙන් මෙම දෙමවුපියන් ඔහු මහණ කල තම විහාරස්ථානයේ වැඩිහිටි ස්වාමීන්වහන්සේ හමුවී ඒ බව දන්වා, තවද තමන් තම නිවස අසල ඉඩමෙහි කුටියක් සාදා ඇති බවත්, වස් කාලය වැඩවිසීම සඳහා ස්වමීන්වහන්සේ නමකට ආරාධනා කිරීමට කැමති බවත් දන්වා සිටියහ.

වැඩිහිටි ස්වාමීන්වහන්සේ ටික දිනකින් සිතුල්පව්ව විහාරස්ථනයට වැඩමකර දෙමාපියන්ගේ කැමත්ත පුත්‍ර ස්වාමීන්වහන්සේට දන්වා වස් කාලය තුල දෙමාපියන්ට අනුග්‍රහ කරන මෙන් උපදෙස් දුන්නහ. මේ තරුණ රහතන්වහන්සේ අනුරාධපුර විහාරස්ථානයට වැඩමකර එහි සිටිනාවිට, පියා පැමිණ එහි නේවාසික ස්වාමීන්වහන්සේගෙන් තමන් විසින් සදා නිමකල තාවකාලික කුටියෙහි වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් ලබාදීම පිළිබඳව මතක්කර සිටියේය. නේවාසික ස්වාමීන්වහන්සේ පුත්‍ර ස්වාමීන්වහන්සේට ඒ බව දන්වන ලදුව, උන්වහන්සේ එම කුටියෙහි වස් සමාදන් වී එම වස්කාලය එහි වැඩ වසන්නට විය. බොහෝ කලකින් දුටු නිසාද, කුඩා කලදීම පැවිදි වීම නිසාද දෙමාපියන්ට මේ තම පුත්‍රයා බව හඳුනාගැනීමට නොහැකි විය. මේ රහතන්වහන්සේද ඒ බව විශේෂයෙන් සඳහන් නොකර වස් කාලය පුරා එම නිවසට පෙරවරුවේ පමණක් දානයට වැඩමකර, ධර්මයෙන් අනුශාසනා කලහ. 

වස් තුන් මස පුරාම නිවැසියන් මේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කල යුතු සියළු උපස්ථානයන් සිදුකර, වස් අවසානයේ වැසි සළුවක්ද සකස්කර පූජා කලහ. උන්වහන්සේ වැසි සළුව පිළිගෙන නැවත සිතුල්පව්වට වඩින අතරමගදී ආපසු අනුරාධපුරයට වඩින ගුරු ස්වාමීන්වහන්සේ හමුවී, විස්තර පවසා වැසි සළුව උන්වහන්සේට පූජාකර සිතුල්පව්වට වැඩම කලේය.

ආපසු ගමට වැඩමකර ගුරු ස්වාමීන්වහන්සේ හමුවූ දෙමවුපියන් තම පුත්‍රයා කොහිදැයි විමසූ විට, මෙතෙක් කලක් ගෙදර කුටියෙහි වස් විසුවේ පුත්‍රයා බවත්, අල්පේජ්‍ය බව නිසා සඳහන් නොකරන්නට ඇති බවත් පවසා, තමන් වහන්සේට පූජා කල වැසි සළුවද පෙන්වා සිටියේය. මින් බොහෝ සතුටට පත් දෙමවුපියන් සිතුල්පව්ව පැත්තට හැරී වන්දනා කරමින් තම පුත්‍රයාගේ අල්පේජ්‍ය බව පිළිබඳව බොහෝ සතුටු විය.

අල්පේජ්‍ය භාවය පිලිබඳව සඳහන් වන මෙම කතා පුවතෙන් එකල වස් විසීම සහ වැසි සළු පූජාව පිළිබඳව බොහෝ කරුණු හෙලිදරව් වෙයි.

නිවැසියන් තම නිවසට නුදුරෙහි කුටියක් සාදා වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් වැඩමකරවා ගත්හ.

මුළු වස් කාලය පුරාවටම උන්වහන්සේට බණ භාවනා පිණිස සියළු පහසුකම් සපයා දුන්නහ.

සියළු උපස්ථානයන් මාස 3ක් පුරා සිදුකලහ.

මාස 3ක් පුරා විශේෂයෙන් සකසා උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කලහ.

ඒ සෑම දිනකම උන්වහන්සේගෙන් ධර්මය අසමින් ඉගෙනගත්හ.

වස් කාලය අවසානයේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කල චීවරයක් පූජා කලහ.

මෙලෙස මාස තුනක් පුරා උන්වහන්සේට උපස්ථාන කරමින් ධර්මය ඉගෙනීමෙන් සිට අවසානයේ පිංකමෙහි අවසාන අංගය ලෙස වැසි සළුවක් පූජා කිරීමෙන් මහා පිංකමක් අවසන් කරයි.

තම නිවස අසලින් හෝ වෙනත් තැනකින් කුටියක් සෑදීමට නොහැකිනම්, ගමේ විහාරස්ථානයේම වස් වැසීමට ආරාධනා කල හැක. එහිදී එම තුන් මාසය පුරාවටම  ස්වාමීන්වහන්සේලාගේ භාවනා සහ බණ දහම් ඉගෙනීම ආදිය සඳහා තමාට කලහැකි සියළු උපස්ථානයන් සිදුකල යුතුය. දිනපතා සවස විහාරයෙහි වතාවත් කල යුතුය. ධර්මය ඇසිය යුතුය. සාකච්ඡා කලයුතුය. ඉගෙනගත යුතුය. එසේ ඉගැන්වීම, කියාදීම වස් වසන ස්වාමීන්වහන්සේගේ යුතුකම වන්නේ උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ දායක පිරිස මාස 3ක් පුරා වෙහෙස මහන්සි වන බැවිනි.

දායක පිරිස දිනපතා මාස 3ක් පුරාවට උපස්ථානයෙන්, වතාවත් කිරීමෙන් සහ දානයෙන් ස්වාමීන්වහන්සේට ධර්ම මාර්ගයට අනුග්‍රහ කරයි.

ස්වාමීන්වහන්සේ දිනපතා මාස 3ක් පුරාවට ධර්මය කියාදීමෙන්, අඩුපාඩු පෙන්වාදීමේන් දායක පිරිසට අනුග්‍රහ කරයි.

මෙම මහා තුන් මාසික අනුග්‍රහය වස් පවාරණයෙන් සහ වැසි සළුවක් හෙවත් වැසිකාලයෙන් පසු පෙරවීමට නව චීවරයක් පූජා කිරීමෙන් අවසන් වෙයි.

මෙලෙස අවසන් කල පින්කම් මාලාවෙහි ගුණය මෙතෙකැයි පැවසිය නොහැකි තරම්ය.

Image from with Thanks: https://www.pinterest.com/pin/434667801518702308/

Tuesday, November 8, 2016

පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්

රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ විට එකිනෙකා පිළිබඳව විමසිලිමත් වීමත්, එකිනෙකාව මැන බැලීමත් අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙවැනි හමුවකදී එකිනෙකා මැනගැනීමට නිරායාසයෙන්ම අප මනස යොදාගන්නා කරුණු 9ක් පිළිබඳවයි මෙම සටහන.

Monday, October 31, 2016

කළගුණ සැලකීම

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවීමට සීයා කෙනෙක් වන ඉතාම වයසක උපාසකතුමෙක් පැමිණියේය. උන්වහන්සේ හමු වී මේ උපාසකතුමා තම දුක කියන්නට විය. ඔහුට දරුමල්ලන් සිටි බවත් දැන් කාත් කවුරුත් නොමැති බවත් රැකියාවක් කිරීමට අපාසු තරම් ඉතාම වයස බැවින් අසරණ තත්වයට වැටී ඇති බවත් පවසමින් හඬාවැටෙන්නෙට විය. තමන්ට පිහිටවන ලෙස ඉල්ලා සිටින්නට විය.

Tuesday, October 11, 2016

අන්තර්ජාතික බ්ලොග් ලෝකය

බ්ලොග් ලියන සහ කියවන හැමෝම වගේ බ්ලොග් ගැන දනිති. ලංකාවේ බ්ලොග් ලෝකය සහ බ්ලොග් සම්මාන ගැන කතාබහත් දුලභද නොවෙයි. නමුත් මේ බ්ලොග් ලෝකයේ අන්තර්ජාතික පරිච්ඡේදය ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේවල් කීපයක්.

අන්තර්ජාතික පරිච්ඡේදය යැයි පැවසුවද අන්තර්ජාතික බ්ලොග් ලෝකයේ ශ්‍රී ලංකා පරිච්ඡේදයක් තමයි සත්‍ය වශයෙන්ම පවතින්නෙ. එයද ඉතා කුඩා යැයි හැඟෙයි. අප රටේ බ්ලොග් තවම එතරම්ම ජනප්‍රිය මාධ්‍ය නොවන නිසාවෙනි. මෙසේ පැවසීමෙන් අපේ සහෘද බ්ලොග් කරුවන් මා මෙසේ පැවසීමෙන් අමනාප නොවේයැයි සිතමි.

Friday, October 7, 2016

රැම්බෝ


කර්නල් සැමුවෙල් ට්‍රවුට්මන්:
"මේ පිස්සු යකා.... රැම්බෝ.... "
"
රැම්බෝ... ඒක කරන්න එපා..මං කියන දේ අහපන්. උඹට කිසිම අවස්ථාවක් නෑ. ඔය තුවක්කුව බිම දාපන්. හෙලිකොප්ටරයක් එනව උඹව බ්‍රාග් වලට අරන් යන්න. "

"ඒයි...වෙඩි තැබීම නවත්වන්නවා...."

Tuesday, October 4, 2016

දිලිසෙන දේවල් එකතු කිරීම.

පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. මෙම කුරුල්ලන්ගේ විශේෂත්වය මෙවන් දිලිසෙන දේවල් (වීදුරු කැබලි, අභරණ වැනි දේ)රැගෙන ගොස් තම කූඩුවෙහි හෝ වෙසෙන පරිසරයෙහි අවට තබාගැනීම සහ එවැනි දිලිසෙන දේවල් ලබාගැනීම සඳහා ඔවුන් අනතුරුද නොසලකා නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමයි.

Tuesday, September 27, 2016

කලියුග කාලෙක


කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි. මෙවන් ගුණ ධර්ම පිරිහුණු යුගයක ඉපදුනු නුවණක්කාරයොනම් මෙම ගුණධර්ම පිළිබඳව අවබෝධයෙන් සිටි බව පෙනෙයි. මෙවන් නුවණක් සහිත දෙදෙනෙක් ගම්පොල හෙවත් උඩරට සහ රයිගම හෙවත් පහත රට අතර දිවෙන ප්‍රධාන මාර්ගයේදී හමුවී හොඳින් සෙවන දෙන මාර ගහක් යට ගිමන් හරින අතර තුර සිදුකරන මේ සාකච්ඡාව තම ප්‍රදේශ වල ගුණධර්මය පිළිබඳව වීම බොහෝ විට දෙදෙනාගෙම බුද්ධියට සහ මතයන්ට ගැළපෙන්නකි.

Friday, September 9, 2016

පාපිස්සක් වගේ ......

“මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලායනයන් සේවනය කරව්. මහණෙනි, ශාරීපුත්‍ර මොග්ගල්ලානයන් භජනය කරව්. පණ්ඩිතවූ (ඒ) භික්ෂූහු බඹසර ඇත්තවුන්ට අනුග්‍රහ කරන්නාහුය. මහණෙනි, වැදූ මව යම්සේද ශාරීපුත්‍ර තෙමේ එමෙනි. උපන්නහුගේ පොෂණය කරන්නාවූ මව යම්සේද, මොග්ගල්ලාන තෙමේ එවැනි වේ. මහණෙනි, ශාරීපුත්‍ර තෙමේ සෝවාන් ඵලයෙහි හික්මවයි. මොග්ගල්ලාන තෙමේ ඉහළ ඵලයන්හි හික්මවයි. මහණෙනි, ශාරීපුත්‍ර තෙම චතුරාර්‍ය්‍ය සත්‍යයන් විස්තර වශයෙන් කියන්ට, දෙශනා කරන්ට, පනවන්ට, පිහිටුවන්ට, විචරණය කරන්ට, විභාග කරන්ට, ප්‍රකට කරන්ට සමර්ථවේයයි.”
 ~ සූත්‍ර පිටකය - මජ්ජිම නිකාය - උපරිපණ්ණාසකය - විභංග වග්ගය - සච්ච විභංග සූත්‍රය ~

Wednesday, August 31, 2016

සෞඛ්‍යාරක්ෂිත දිනචර්යාව

පෙර ලිපියකින් විස්තර කල පරිදි නිවැරදි ස්නානය සෞඛ්‍යයට කරනු ලබන බලපෑම වැනිම තවත් බොහෝ වැදගත් කරුණක් වනුයේ දෛනික ජීවන පැවැත්මයි. සුපුරුදු පරිදිම මෙම ලිපිය මැණික්හින්නේ පදිංචි ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතාගෙන් ලබාගත් තොරතුරු සහ අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු ඇසුරෙන් සකස්කරන ලද්දක්.

දින චර්යාවේ මූලිකම අංගය වන උදෑසන පිබිදීමත් සමඟම වතුර වීදුරුවක් හෝ දෙකක් පානය කිරීම ඉතාම වැදගත්. එනම් 500ml පමණ වන ජල පරිමාවක්. මෙයින් පසුව වැසිකිලි යෑමේ අවශ්‍යතාවය සාමාන්‍ය දෙයක් වන අතරම උදෑසන ශරීරය පිරිසිදු කිරීමේ කාර්යයද මේ සමඟම සම්පූර්ණ කරගත හැක. ඒ අතරතුර උදෑසන තේ පානයෙන් වැලකීමට පුරුදුවිය හැකිනම් එය බොහෝ වටිනා සෞඛ්‍ය පුරුද්දක් විය හැක.

Tuesday, August 23, 2016

නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන

මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්.

ස්නානය හෙවත් නෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කලයුත්තේ, එය ශරීරය පිරිසිදු කිරීමෙන් විශාල වශයෙන් වෙනස් වන නිසයි. වර්ථමානයේ බොහෝවිට ස්නානය සහ ශරීරය පිරිසිදු කිරීම (Bath & Shower) පටලවා ගනිමින්, යම් තරමකින් හිස සහ කය තෙමාගනිමින්, කුණු දුහුවිලි සෝදාහැරීමකට පමණක් එය සීමා කරනු ලබන ස්වාභාවයක් පෙනෙයි.

එසේනම් හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පිරිසිදු කිරීම සහ ස්නානය වෙනස් වන්නේ කෙසේද?

Thursday, August 18, 2016

පොල් සහ අපේ ආහාර රටාව

මේ මාතෘකාව අලුත් දෙයක් නෙවෙයි තමයි.මේ කියන්ඩ යන කරුණුත් අලුත් දේවල් නෙවෙයි.ඒත් මේ පාරම්පරික දැනුම සමාජයෙන් ගිලිහිලා තියන බව පේන නිසා ලියන්න හිතුවා.මේ විස්තර ටික අපිටත් කියල දුන්නෙ ඇල්ලියද්දේ දයාරත්න වෙදමහත්තයා.දැනට මහනුවර - වලල ප්‍රදේශයේ තමයි මෙතුමා පදිංචිව සිටින්නෙ.

පොල් කියන්නෙ කප් රුක කියලනෙ කියන්නෙ.මේ කුලයෙ වර්ග ගොඩක් එහෙමත් තියනව.පොල් වලට අමතරව,තැඹිලි,කුන්දිරා,නවසි වගේ වර්ග.තැඹිලි ගත්තමත් සාමාන්‍ය තැඹිලි වලට අමතරව රන් තැඹිලි සහ ගොන් තැඹිලි කියලත් වර්ග 2ක් තියනව. මීටත් අමතරව පොදුවේ භාවිතා නොවන වර්ග ගොඩක් තියනව.මෙතනින් වැඩි විස්තර බලාගන්න පුළුවන්.

Sunday, August 14, 2016

වර්ථමාන වෙළඳ සමාජය සහ ආහාර

ඕනෑම සමාජයක ඊටම ආවේණික වූ මූලික අවශ්‍යතා ඇත.නමුත් ආහාර,නිවාස සහ ඖෂධ ඒ අතරින් ප්‍රධානය.අතීතයේ සිට පැවති සෑම සමාජ ක්‍රමයකම පුද්ගලයන්ගේ මෙම මූලික අවශ්‍යතා ලබාගැනීමේ හැකියාව අනුව සමාජ, පුද්ගල වර්ගීකරණයද සිදුවුනි. සමාජ ක්‍රමය තුල මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදය අනුවම සමාජ ක්‍රමයද වර්ගීකරණය විය.

මෙම මූලික අවශ්‍යතාවයන්වෙළඳ ක්‍රමවේදයක් තුලින් තීරණය කරන ක්‍රමය වෙළඳ සමාජයක් ලෙස හඳුන්වනු ලබයි.වර්ථමාන සමාජ ක්‍රමය පැහැදිලිවම වෙළඳ සමාජයක් ලෙස අර්ථදැක්විය හැකි ස්වාභාවයක් පෙනී යයි. සියළු මූලික අවශ්‍යතාවයන් වෙළඳපොල මත තීරණය වන බැවිනි.වර්ථමාන සමාජ වටපිටාව දෙස බැලීමේදී පෙනීයන මූලික කරුණක් වනුයේ වෙළඳපොල මගින් මූලික මිනිස් අවශ්‍යතා මත කරනු ලබන බලපෑමයි.

Tuesday, July 26, 2016

ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01


අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත් සාකච්ඡා වී තිබෙන වටපිටාවක තවත් අකුරු පිරවීම අනවශ්‍ය කාරණයක් බව ප්‍රත්‍යක්ෂ වුවද මේ ලිපිය දහම් පාසල් ගුරුවරුන් සම්බන්ඳ අදහස් අකුරු කිරීමක් නිසාම එය කාලය අපතේ හැරීමක් ලෙස මම නොසලකමි. බොහෝ විට දහම් පාසල් හෝ දහම්පාසල් ගුරුවරුන් පිලිබඳව මධ්‍ය හෝ සමාජය කථා කරන්නේ අය වැයෙන් දෙන දීමනාව හෝ විශේෂ සිදුවීම් අවස්ථාවක පමණක් වන බැවිනි.

අධ්‍යාපනික මට්ටමින් හෝ වෙනත් මාන අතින් අනෙක් ගුරුවරුන් අතරින් දහම්පාසල් ගුරුවරුයා වෙනස් වන්නේ ස්වෙච්ඡා සේවය නිසාම පමණක් බව මාගේ හැඟීමයි. බහුතරයක් දහම්පාසල් වල උගන්වන්නේ අධ්‍යපනයේ යෙදෙන ආධුනික තරුණ පිරිස හෝ විශ්‍රාමික වෘත්තිකයන්ය. බොහෝවිට විශ්‍රාමික ගුරුවරුම වේ. එබැවින් ගුරුවරයා සහ දහම් පාසල් ගුරුවරයා කාර්යභාරයන් අතින් සන්සන්දනය කිරීම අසාධාරණක් නොවන්නේමය.

Tuesday, November 3, 2015

පාසල සහ දහම් පාසල ( නොහොත් පාසලක් සහ තවත් පාසලක් )

මෙරට අධ්‍යපනය පිලිබඳ සාකච්ඡා බොහොමයකි. විවිධ සංනිවේදන මාධ්‍ය හරහා විවිධ විද්වතුන් නොයෙක් අයුරින් සාකච්ඡා කර ඇති සහ කරනු ලබන වටපිටාවක ඒ පිලිබඳ විද්වතකු නොවන මගේ විචාර මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් නොකරමි. නමුත් එතරම් අවධානයක් යොමු නොවන දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව අදහස් දැක්වීම කාලය අපතේ හැරීමක් ලෙස නොසලකමි. 

මෙකල ප්‍රධාන ධාරාවේ අධ්‍යපනය තරඟකරී මට්ටමේ උපරිමයේ පවතින බව මගේ පෞද්ගලික හැඟීමයි. පූර්ව ළමා සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යපනය දක්වාම අතිශයින්ම තරඟකාරීය.

පෙර පාසල් තුළින්ම මෙම ස්වභාවය ආරම්භ වෙයි. හොඳම පෙර පාසලට තම දරුවා යැවීමට දෙමාපියන් යුහුසුලු වීම වරදක් සේ නොපෙනුනද හොඳම ඉංග්‍රීසි උගන්වන, නොඑසේනම් වැඩිම පැවරුම් හෝ ක්‍රියාකාරකම් දෙන, ප්‍රසිද්ධ නාමයක් ඇති ආදී නිර්නායක මත පදනම් වීමම කුඩා කලදීම දරුවන් තරඟකාරීත්වයට යොමු කිරීමේ ලක්ෂණ ලෙස පෙනේ. මෙය බොහෝ අවස්ථාවල දෙමව්පියන්ගේ තරඟයක් ලෙසද පෙනෙන්නට ඇත.

පාසල් පරිසරයේ පවතින තරඟකාරීත්වය වෙසෙසින් සඳහන් කිරීම අවැසි නොවේ. විශ්වවිද්‍යාල තුලද මේ ස්වාභාවයේ එතරම්ම වෙනසක් නැත යන්න මගේ අදහසයි. අර්ධවර්ෂ ක්‍රමයත් සමඟම නිදහස් චින්තකයෝ තරඟකරුවන් වී ඇත.

" තරඟකාරී ලෝකයේ හැමදේම තරඟයක් තමයි ". ඒත් ඒ තුල මිනිසා යාන්ත්‍රීකරණය වීම අත්‍යවශ්‍යයද ?

අද දහම්පාසල් පංති වලද අප දකින සිසුන් බහුතරය බොහොවිට ක්‍රියාශීලී නොමැති වන අතර පෞරුෂය, නිර්මාණශීලීත්වය, ආත්ම අභිමානය, සමාජශීලීත්වය, ප්‍රයෝගීකත්වය කෙමෙන් දරුවන් කෙරෙන් ගිලිහෙමින් යන බව පෙනෙයි. එ වෙනුවට නොඉවසිලිවත්, උදාසීන දරුවන් දක්නට ලැබෙයි. 

නමුත් ඔවුන් කියන දේ කරති. ප්‍රශ්න නොඅසති. බොහෝ වැඩ කල හැක. නමුත් අලුත් දේ අත්හදා බලනු නොපෙනේ.

මාගේ උත්සාහය විවේචනයක් කිරීම නොවේ. මාගේ නිරීක්ෂණයන් දැක්වීටයි. මේ තත්ත්වය ටිකෙන් ටික වැඩිවීමක්මය පෙනෙන්නේ.
දහම්පාසල් අධ්‍යාපන ක්‍රමවේදයද ප්‍රධාන ධාරාවේ ක්‍රමවේදයට බොහෝසෙයින් සමීපය. පැවරුම්, ක්‍රියාකාරකම් ඔස්සේ විභාග උදෙසා දරුවන් පුහුණු කරවීම සහ තරඟ සඳහා යොමු කිරීම දක්නට ලැබෙයි. 

මේ ක්‍රමවේදය පිළිබඳව විවේචන කෙසේ වුවද දහම්පාසල දරුවන්ට තවත් එක් පාසලක් වී තිබේ. තවතවත් දරුවන් විඩාවට පත් කරමින් යාන්ත්‍රීකරණයටම යොමු කරවයි.

සතියේ දින 5 ම පාසල් සහ පන්ති යන, සෙනසුරාදාටත් පන්ති යන දරුවන් ඉරිදාත් තවත් පාසලකටම යති.

සමාජය සහ දෙමව්පියන් දහම්පාසලකින් බලාපොරොත්තුවිය යුත්තේ මෙයද ?

ඦායාරූපය : http://www.cedefop.europa.eu/en/news-and-press/news/data-analysis-and-reports-education-and-training-monitor-2014

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...