Tuesday, July 26, 2016

ගුරුවරයා සහ දහම්පාසල් ගුරුවරයා 01


අද ගුරුවරයාගේ භූමිකාව, සංකීර්ණ සහ තරඟකාරී සමාජීය වටපිටාවත් සමඟ වෙනස් වී තිබීම නැවත නැවතත් සාකච්ඡා වී තිබෙන වටපිටාවක තවත් අකුරු පිරවීම අනවශ්‍ය කාරණයක් බව ප්‍රත්‍යක්ෂ වුවද මේ ලිපිය දහම් පාසල් ගුරුවරුන් සම්බන්ඳ අදහස් අකුරු කිරීමක් නිසාම එය කාලය අපතේ හැරීමක් ලෙස මම නොසලකමි. බොහෝ විට දහම් පාසල් හෝ දහම්පාසල් ගුරුවරුන් පිලිබඳව මධ්‍ය හෝ සමාජය කථා කරන්නේ අය වැයෙන් දෙන දීමනාව හෝ විශේෂ සිදුවීම් අවස්ථාවක පමණක් වන බැවිනි.

අධ්‍යාපනික මට්ටමින් හෝ වෙනත් මාන අතින් අනෙක් ගුරුවරුන් අතරින් දහම්පාසල් ගුරුවරුයා වෙනස් වන්නේ ස්වෙච්ඡා සේවය නිසාම පමණක් බව මාගේ හැඟීමයි. බහුතරයක් දහම්පාසල් වල උගන්වන්නේ අධ්‍යපනයේ යෙදෙන ආධුනික තරුණ පිරිස හෝ විශ්‍රාමික වෘත්තිකයන්ය. බොහෝවිට විශ්‍රාමික ගුරුවරුම වේ. එබැවින් ගුරුවරයා සහ දහම් පාසල් ගුරුවරයා කාර්යභාරයන් අතින් සන්සන්දනය කිරීම අසාධාරණක් නොවන්නේමය.


පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල හෝ වෙනත් අධ්‍යන පාඨමාලා ගුරුවරු තරඟකාරී අධ්‍යාපන රටාව නිසාම සිසුන් තරඟයක යොදවා තමන්ද ඒ තරඟයේම කොටස් කරුවන් වේ සිටිති. පාඩම්, පැවරුම්, ක්‍රියාකාරකම්, ව්‍යාපෘති අදී මෙකී නොකී දහසක් වැඩ වල යොදවමින් සිසුන් දිනවන්නට කරන ව්‍යායමය ප්‍රශංසනීයම වන්නේය. ඒ තුලින් සිදුවන ශිෂ්‍ය යාන්ත්‍රීයකරණය, නොඑසේනම් සිසුන් යන්ත්‍ර බවට පත්කරවීම රජයේ අධ්‍යපන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්ගේ වරද මිස ගුරුවරුන්ගේ වරදක් නොවේ. ඔවුන්ද එම යාන්ත්‍රීයකරණයේම ගොදුරු වී ඇති බැවිනි. මින් අදහස් වන්නේ තරඟකාරීත්වය අනවශ්‍ය බව නොවෙයි. අද වනවිට එය තරඟයක්ම පමණක් වී ඇති අතර නිදහස් අදහස් සපිරි නිර්මාණශීලී පුද්ගලයකු නිර්මාණය කිරීමේ අරමුණක් නොමැති බව පෙනෙන්නට තිබෙන බැවිනි. එමෙන්ම දෙමාපියන්ද මේ තරඟාවලියේ විශේෂ කාර්‍යයක් ඉටු කරමින් තම දරුවන් ඒ වෙතටම පොළඹවන ප්‍රවනතාවයද ඉතාම ඉහළ අගයක් ගනී.

එබැවින් සිසුවාට මෙන්ම ගුරුවරයාටද නිදහස් සිතුවිලි උදෙසා කාලයක් හෝ ගුණධර්ම උදෙසා කාලයක් නොමැත. දෙපිරිසටම සීමිත කාලයක් තුල අසීමිත වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට ඇත. බොහෝ විට ගුරු සිසු දෙපාර්ශ්වයම තම නිවාඩු කාලය පවා වැය කරනුයේ ඒ වෙනුවෙනි.වෙනත් රැකියාවකදී සීමිත කාලයක් තුල අසීමිත වැඩ කොටසක් සම්පූර්ණ කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක් වුවද අධ්‍යපන ක්ෂේත්‍රය තුළදී ගුරුවරයා සහ ශිෂ්‍යා යන දෙදෙනාම නිදහස් චින්තකයන් වීම මිස කිසියම් චින්තනයක වහලුන් ලෙස ක්‍රියාත්මකවීම අධ්‍යපනයේ ඵලදායීත්වයට හේතු නොවේ. එමෙන්ම ඵලදායී සහ ගුණගරුක සමාජයකටද උපකාරක නොවෙයි. එය බහුතර වර්ථමාන මිනිසුන්ගේ සමාජීය හැසිරීමෙන්, විශේෂයෙන්ම උගත් යැයි සම්මත බොහෝ පුද්ගලයන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අසංවේදී හැසිරීම් වලින් මනාව පිලිබිඹු වෙයි. ( මනාව මතුව පෙනෙන අයහපත් අය විනා යහපත් පිරිස මේ කුලකයට අයත් නොවේ ) මේ තත්ත්වය අතීතයේ නොපැවතුනා නොවේ. වර්තමානයේ එහි වැඩිදියුණුවක්මය  පෙනෙන්නේ. ගුණධර්මයන්ගේ පුහුණුව අධ්‍යපනයේම අංගයක් නොවන්නෙද ? නමුත් තරඟකාරී ක්‍රමය භෞතික ප්‍රතිඵලම අගයනු විනා අධ්‍යාත්මික ඵල දෙස නොබලයි. අධ්‍යාත්මික ගුණවගාවන්ගේ අගය නොදකියි.ඊට ලකුණු දිය නොහැකි බැවිනි.

මේ පවතින ක්‍රමවේදය තුල ගුරුවරයාගෙ භූමිකාව පැහැදිලිය. එනම් තමන්ද තරගයට වැටෙමින්ම සිසුන් දිවවීමය. දිනන්නා ඇගයීමය. පරදින්නා නොසලකා හැරීමය. නොඑසේනම් අත හැර දැමීමය. ( මෙසේ නොකරන ගුරුවරුන්ද නැතුව නොවේ. නමුත් බොහෝ විට ඔවුනටද කල හැක්කක් ක්‍රමවේදය තුලම නොමැත ) අධ්‍යාපන පද්ධතිය ගුරුවරයාගෙන් බලාපොරොත්තු වන්නේද එයමය.

කාර්යබහුලත්වයේ පීඩනය නිසා සීමිත වටපිටාවකට කොටුවී සිටින සිසුවා නවීන තාක්ෂණය ලාභදායී ලෙස අතට පත්වීමත් සමඟම ,සිය කුඩා විවේකයත් අතථ්‍ය (Virtual) ලෝකයක තමන්ට නොලැබෙන මානසික නිදහස සහ සතුට සොයමින් දිය කර හරී. සමාජගත වීම වෙනුවට තවතවත් හුදෙකලා වෙමින් යාන්ත්‍රීකරණයටම ඇදී යයි. දෙමපියන්ගේ කාර්යබහුලත්වය සහ තාක්ෂණය පිලිබඳ මඳ දැනුම මීට රුකුලක්මය.

මේ තත්ත්වය ආගම්, ජාති භේද නොමැතිව පොදුවේ ජාතික තලයෙන් පැතිර පවතින්නකි.

මෙවන් සමාජ පරිසරයක බොඳු දහම්පාසල් ගුරුවරුයාගේ වගකීම කුමක්ද ?
  • දරුවන් තවත් යාන්ත්‍රීයකරණ පද්ධතියක් ( තවත් පැවරුම් හා විභාග, තවත් තරඟ ) තුලටම සිරකිරීමද ?
  • පීඩනයෙන් පීඩනයටත්, කාර්යබහුලත්වයෙන් කාර්යබහුලත්වයටත් ගෙනයාමද?
  • දහම්පාසල තවත් පාසලක් කිරීමද?
නොඑසේනම් 
  • බෞද්ධ දරුවන් බුදු සමිඳුන්ගේ දහම් සිසිලෙන් නහවමින් ගුණ නුවණ වැඩවීමද?
  • ගුණ නුවණින් යුතු පුතුන්, දූවරුන් බිහි කිරීමද?

Image from http://www.missourilearningstandards.com/mls-resources-for-districts-and-teachers/

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...