Monday, November 14, 2016

වැසි සළු පූජාව

කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු පිළිබඳව කතා පුවතකි මේ.

අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා පවුලකින් තම එකම පුත්‍රයා කුඩා කලදීම මහණ කරනු ලදුව, ඉතාමත් මහන්සියෙන් බවුන් වඩා මේ භික්ෂූන්වහන්සේ අරහත්වයට පත් වී සිතුල්පව්ව විහාරස්ථානයේ වැඩවසයි. වසර ගණනාවකට පසු තම පුත්‍රයා දැකගැනීමේ ආශාවෙන් මෙම දෙමවුපියන් ඔහු මහණ කල තම විහාරස්ථානයේ වැඩිහිටි ස්වාමීන්වහන්සේ හමුවී ඒ බව දන්වා, තවද තමන් තම නිවස අසල ඉඩමෙහි කුටියක් සාදා ඇති බවත්, වස් කාලය වැඩවිසීම සඳහා ස්වමීන්වහන්සේ නමකට ආරාධනා කිරීමට කැමති බවත් දන්වා සිටියහ.

වැඩිහිටි ස්වාමීන්වහන්සේ ටික දිනකින් සිතුල්පව්ව විහාරස්ථනයට වැඩමකර දෙමාපියන්ගේ කැමත්ත පුත්‍ර ස්වාමීන්වහන්සේට දන්වා වස් කාලය තුල දෙමාපියන්ට අනුග්‍රහ කරන මෙන් උපදෙස් දුන්නහ. මේ තරුණ රහතන්වහන්සේ අනුරාධපුර විහාරස්ථානයට වැඩමකර එහි සිටිනාවිට, පියා පැමිණ එහි නේවාසික ස්වාමීන්වහන්සේගෙන් තමන් විසින් සදා නිමකල තාවකාලික කුටියෙහි වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් ලබාදීම පිළිබඳව මතක්කර සිටියේය. නේවාසික ස්වාමීන්වහන්සේ පුත්‍ර ස්වාමීන්වහන්සේට ඒ බව දන්වන ලදුව, උන්වහන්සේ එම කුටියෙහි වස් සමාදන් වී එම වස්කාලය එහි වැඩ වසන්නට විය. බොහෝ කලකින් දුටු නිසාද, කුඩා කලදීම පැවිදි වීම නිසාද දෙමාපියන්ට මේ තම පුත්‍රයා බව හඳුනාගැනීමට නොහැකි විය. මේ රහතන්වහන්සේද ඒ බව විශේෂයෙන් සඳහන් නොකර වස් කාලය පුරා එම නිවසට පෙරවරුවේ පමණක් දානයට වැඩමකර, ධර්මයෙන් අනුශාසනා කලහ. 

වස් තුන් මස පුරාම නිවැසියන් මේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කල යුතු සියළු උපස්ථානයන් සිදුකර, වස් අවසානයේ වැසි සළුවක්ද සකස්කර පූජා කලහ. උන්වහන්සේ වැසි සළුව පිළිගෙන නැවත සිතුල්පව්වට වඩින අතරමගදී ආපසු අනුරාධපුරයට වඩින ගුරු ස්වාමීන්වහන්සේ හමුවී, විස්තර පවසා වැසි සළුව උන්වහන්සේට පූජාකර සිතුල්පව්වට වැඩම කලේය.

ආපසු ගමට වැඩමකර ගුරු ස්වාමීන්වහන්සේ හමුවූ දෙමවුපියන් තම පුත්‍රයා කොහිදැයි විමසූ විට, මෙතෙක් කලක් ගෙදර කුටියෙහි වස් විසුවේ පුත්‍රයා බවත්, අල්පේජ්‍ය බව නිසා සඳහන් නොකරන්නට ඇති බවත් පවසා, තමන් වහන්සේට පූජා කල වැසි සළුවද පෙන්වා සිටියේය. මින් බොහෝ සතුටට පත් දෙමවුපියන් සිතුල්පව්ව පැත්තට හැරී වන්දනා කරමින් තම පුත්‍රයාගේ අල්පේජ්‍ය බව පිළිබඳව බොහෝ සතුටු විය.

අල්පේජ්‍ය භාවය පිලිබඳව සඳහන් වන මෙම කතා පුවතෙන් එකල වස් විසීම සහ වැසි සළු පූජාව පිළිබඳව බොහෝ කරුණු හෙලිදරව් වෙයි.

නිවැසියන් තම නිවසට නුදුරෙහි කුටියක් සාදා වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් වැඩමකරවා ගත්හ.

මුළු වස් කාලය පුරාවටම උන්වහන්සේට බණ භාවනා පිණිස සියළු පහසුකම් සපයා දුන්නහ.

සියළු උපස්ථානයන් මාස 3ක් පුරා සිදුකලහ.

මාස 3ක් පුරා විශේෂයෙන් සකසා උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කලහ.

ඒ සෑම දිනකම උන්වහන්සේගෙන් ධර්මය අසමින් ඉගෙනගත්හ.

වස් කාලය අවසානයේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කල චීවරයක් පූජා කලහ.

මෙලෙස මාස තුනක් පුරා උන්වහන්සේට උපස්ථාන කරමින් ධර්මය ඉගෙනීමෙන් සිට අවසානයේ පිංකමෙහි අවසාන අංගය ලෙස වැසි සළුවක් පූජා කිරීමෙන් මහා පිංකමක් අවසන් කරයි.

තම නිවස අසලින් හෝ වෙනත් තැනකින් කුටියක් සෑදීමට නොහැකිනම්, ගමේ විහාරස්ථානයේම වස් වැසීමට ආරාධනා කල හැක. එහිදී එම තුන් මාසය පුරාවටම  ස්වාමීන්වහන්සේලාගේ භාවනා සහ බණ දහම් ඉගෙනීම ආදිය සඳහා තමාට කලහැකි සියළු උපස්ථානයන් සිදුකල යුතුය. දිනපතා සවස විහාරයෙහි වතාවත් කල යුතුය. ධර්මය ඇසිය යුතුය. සාකච්ඡා කලයුතුය. ඉගෙනගත යුතුය. එසේ ඉගැන්වීම, කියාදීම වස් වසන ස්වාමීන්වහන්සේගේ යුතුකම වන්නේ උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ දායක පිරිස මාස 3ක් පුරා වෙහෙස මහන්සි වන බැවිනි.

දායක පිරිස දිනපතා මාස 3ක් පුරාවට උපස්ථානයෙන්, වතාවත් කිරීමෙන් සහ දානයෙන් ස්වාමීන්වහන්සේට ධර්ම මාර්ගයට අනුග්‍රහ කරයි.

ස්වාමීන්වහන්සේ දිනපතා මාස 3ක් පුරාවට ධර්මය කියාදීමෙන්, අඩුපාඩු පෙන්වාදීමේන් දායක පිරිසට අනුග්‍රහ කරයි.

මෙම මහා තුන් මාසික අනුග්‍රහය වස් පවාරණයෙන් සහ වැසි සළුවක් හෙවත් වැසිකාලයෙන් පසු පෙරවීමට නව චීවරයක් පූජා කිරීමෙන් අවසන් වෙයි.

මෙලෙස අවසන් කල පින්කම් මාලාවෙහි ගුණය මෙතෙකැයි පැවසිය නොහැකි තරම්ය.

Image from with Thanks: https://www.pinterest.com/pin/434667801518702308/

4 comments:

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. මා ඔබේ බ්ලොගය ගැන දන්නෙ මෑතක. ඒ විවිධ තාක්ෂනික කරුනු ගැන ලිපි පලකරන අධ්‍යාපනික එකෙක් ලෙස. ඔබට පැතිරුන දහම් දැනුමකුත් ඇති බව දැන මා විමතියට පත්වුනා. එසේම මගේ බ්ලොගයේත් වෙනත් බ්ලොග්වලත් ඔබ සංවාද කරන සැටි දැක ඔබ වැදගත් පවුල් පසුබිමක් ඇති අයෙක් බව මා සිතනවා.කෙනෙකුගේ පෞර්ෂය මානසිකත්වය පිලිබිඹු කරන්නේ ඔහු හෝ ඇය භාවිතා කරන වචනයි. ඔබේ වචී සංවරය දැක මා පැහැදුනා.සාහසික වනචාරී මානසික ලෙඩ්ඩුන්ට වඩා ශිෂ්ට මිනිසුන් ගේ ඇසුර මාත් ප්‍රිය කරනවා.බ්ලොග් ලිවිය යුත්තේ කියවිය යුත්තේත් ඔබ වැනි අයයි.

    දිගටම ලියන්න. කොමෙන්ට් පසුපස යන්න එපා. ඒක තමා බ්ලොග්කරුවෙකුගෙ පීහීමෙ මුල. කල්ලි කන්ඩායම්වලට සම්බන්ධ වෙන්නත් එපා. ඔබේ අනන්‍යතාවය හෙලිකරන්න යන්නත් එපා. දිගුකලක් බ්ලොග් ලොවේ රැදෙන්න එය උපකාරී වේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට වගේම උපදේශයටත් බොහෝම ස්තූතියි....

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...