Tuesday, August 23, 2016

නෑම සහ එහි සෞඛ්‍ය ප්‍රයෝජන

මේ විස්තරයද දේශීය වෛද්‍යාචාර්ය ඇල්ලියද්දේ දයාරත්න වෙදමහතාගෙන් දැනගත් තොරතුරු සහ තවත් අන්තර්ජාල මූලාශ්‍ර ඇසුරෙන් සකස් කරන ලද්දක්.

ස්නානය හෙවත් නෑම පිළිබඳව විශේෂයෙන් සඳහන් කලයුත්තේ, එය ශරීරය පිරිසිදු කිරීමෙන් විශාල වශයෙන් වෙනස් වන නිසයි. වර්ථමානයේ බොහෝවිට ස්නානය සහ ශරීරය පිරිසිදු කිරීම (Bath & Shower) පටලවා ගනිමින්, යම් තරමකින් හිස සහ කය තෙමාගනිමින්, කුණු දුහුවිලි සෝදාහැරීමකට පමණක් එය සීමා කරනු ලබන ස්වාභාවයක් පෙනෙයි.

එසේනම් හිසේ සිට දෙපතුල දක්වා ශරීරය පිරිසිදු කිරීම සහ ස්නානය වෙනස් වන්නේ කෙසේද?



නෑම, කුණු දුහුවිලි වලින් ශරීරය පිරිසිදු කිරීමට අමතරව ජලයෙන් ශරීරයට කරනු ලබන සම්බාහනයකි. හිස සිට දෙපතුල දක්වාම කිසියම් සැලකියයුතු කාලයක් ජලය ගලායාමට හෝ ජලය තුල රැඳීමට ඉඩ දෙමින්, කය සිහිල් හෝ උණුසුම් දියෙන් තැවීම මින් අදහස් කරයි.

මෙහිදී අවශ්‍යතාවය සහ අවස්ථාව අනුව භාවිතා කරනු ලබන ජලයේ ස්වාභාවය සහ ස්නානය කරන කාලය වෙනස් වෙයි.එනම් සාමාන්‍ය දෛනික ක්‍රියාවලියක්, විශේෂ සම්බාහන ස්නානයක් හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් යන අවස්ථාවන්ගේ ස්නාන ස්වාභාවය, කාලය සහ ක්‍රමවේදය වෙනස් වෙයි.

තුර්කි ස්නානය, සුප්‍රසිද්ධ ක්ලියෝපැට්‍රාගේ රෝස මල් සමඟ කිරි ස්නානය විශේෂ ස්නානයන් සඳහා උදාහරණයන්ය.

බටහිර වෛද්‍ය ක්‍රමයේ භාවිතාවන විශේෂ නාන බේසමක් සම්බන්ධ කොට ගෙන කරනු ලබන විද්‍යුත්-ප්‍රතිකාරක ස්නානය (Electric Medical Bath) සහ දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිතාවන බෙහෙත් ඔරුවේ බහා ඖෂධ සහිතව කරනු ලබන ස්නානය ප්‍රතිකාර ක්‍රමයන් ලෙස භාවිතා වන අවස්ථාවන්ය.

බටහිර ක්‍රමයට නාන බේසමක බැස ස්නානය සහ පෙරදිග ක්‍රමයට වතුර හිසට වත්කරගනිමින් කරන ස්නානයත්, පොදුවේ වතුර මලෙන් සහ ජලාශයන්හි  බැස සිදුකරන ස්නානයත් අප දන්නා පරිදිම සාමාන්‍ය එදිනෙදා ස්නානයන්ය.

එදිනෙදා ස්නානය මෙම විශේෂිත ස්නානයන් මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නක් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.නිවැරදි ස්නානය තුලින් ලැබෙන මෙම ප්‍රතිලාභ බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුලින්ද නැවත නැවත සනාථ වුවද,බටහිර දියුණු රට වල නිතර සාකච්ඡාවට බඳුන්වන මෙම කරුණ, දේශීය පාරම්පරික දැනුමක් බවත්, මේ වනවිට අභාවයට යමින් පවතින බවත් බොහෝ දෙනා නොදනිති.

දිනය පුරා වෙහෙසී ආතතියට ලක් වුනු මාංශපේෂීන් ලිහිල් කිරීමත්, ශරීරය තුල ඇතිවන උෂ්ණය ඉවත්කර කය සිසිල් කිරීමත්, එමඟින් රුධිර ධාරාව සිසිල් වීමෙන් සහ මාංශපේෂීන් සැහැල්ලු වීමෙන් හදවතට ලැබෙන සැහැල්ලුව දෛනික ස්නානයෙහි ප්‍රධාන ප්‍රයෝජනයයි. අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය පානයද මෙලෙස රුධිර ධාරාව සිසිල් වීමටත් සැහැල්ලු වීමටත් තවත් මූලික කරුණකි. මෙම මාංශපේෂී ලිහිල් බව සහ හෘදයට දැනෙන සැහැල්ලුව, ස්නානයෙන් පසුව ලැබෙන සනීපදායක ස්වාභාවයම වෙයි.

එසේනම් මෙලෙස නිවැරදි ස්නානයක් ලබාගන්නේ කෙසේද?
නාන බේසමක ස්නානයේදී විනාඩි 15-20 අතර කාලයක් ජලයේ බැස සිටීම අත්‍යාවශ්‍ය වෙයි. මුලින්ම වතුර මල භාවිතයෙන් කුණු, දුහුවිලි හොඳින් සෝදා දමා, ජලයේ විනාඩි 15-20ක් සැහැල්ලුවෙන් ගතකර, ඉන්පසු මුහුණට හෝ සමට කරන සත්කාරයන් සිදුකර, පසුව නැවතත හොඳින් ශරීරිය සෝදා පිරිසිදුකර ස්නානය සම්පූර්ණ කරයි.මෙසේ ජලයේ බැස සිටින අවස්ථාවේ ජලය හෝ සුමුදු බීමක් ගැනීම වරදක් නැත.
  • වතුර මලකින් ස්නානය.
මෙය බටහිර හඳුන්වනුයේ ස්නානයක් ලෙස නොව පිරිසිදු කිරීමක් ලෙසය. නමුත් මෙරට එය ස්නානයක් ලෙස සිදුකරන බැවින්, එහිදී ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් වියයුතුය.

1. හොඳින් හිසේ සිට පාද දක්වා ජලය ගලායන සේ ස්නානය කලයුතුය.හිස යන්තම් තෙමාගැනීම ප්‍රමාණවත් නොවේ.

2. මුලින්ම කුණු දුහුවිලි හොඳින් සෝදා දමා, පසුව හොඳින් ජල ධාරාව හිසේ සිට කය පුරා ගලා යෑමට සැලස්විය යුතුය.

3. හිසට ජලය වැටීම ඉතාම තදින් නොවිය යුතුය.එලෙසම ඉතා කුඩා ජල ධාරාවක්ද නොවිය යුතුය.ඉතා හොඳ ජල ධාරාවක් මඳ වේගයකින් හිස මත වැටී කය පුරා ක්‍රමිකව ගලා යායුතුය.

4. ජලය එසේ ගලායන මුළු කාලය අවම වශයෙන් විනාඩි 30-40 පමණ විය යුතුය.

මේ සඳහා අවම වශයෙන් පැයක පමණ කාලයක් ගත වන අතර, ස්නානයෙන් පසුව මනා සැහැල්ලු බවක් දැනීම ස්වාභාවිකය.
  • භාජනයක් මගින් ජලය වත්කරගන්නා ස්නානය.
ජලය භාජනයක් මඟින් හිස් මුදුනට ක්‍රමිකව වත්කරමින්, මනාව ජල ධාරාවක් කය දිගේ ගලායෑමට සැලැස්වීම මෙම ක්‍රමයයි. වතුර මල භාවිතයේදී සිදුකරනු ලබන ක්‍රමවෙදයම භාවිතා කලහැකි මෙම ක්‍රමයේ වාසියනම් වැඩි ජල ප්‍රමාණයක් ක්‍රමිකව අඩු කාලයකදී ශරීරය මතින් ගලායැවිය හැකි වීම නිසා විනාඩි 30ක් වැනි කාලයකින් හොඳ ස්නානයක් ලබාගතහැකි වීමයි. මෙහිදීද මුලින් හොඳින් හිස සහ ශරීරය පිරිසිදු කර, අනතුරුව ජල බඳුන් (බාල්දි ) 30-40 පමණ ස්නානයෙන් යහපත් ප්‍රතිඵල ලඟාකරගත හැකි වෙයි.
  • ජලාශයක හෝ ජල තටාකයක ස්නානය
මුලින් හොඳින් ශරීරය පිරිසිදු කිරීමෙන් පසුව,

ජලාශයක බැස ගිලී ස්නානය කරන්නේනම් ජලයේ ගිලී සිටින මුළු කාලය විනාඩි 15-20ක් පමණ විය යුතු බවයි පැවසෙන්නේ.

ජලාශයක හෝ ජල තටාකයක් පිහිනමින් ස්නානය කරන්නේනම් ශරීරය පිරිසිදු කිරීමෙන් පසු විනාඩි 10-15 කාලයක් උවද සෑහේ.පිහිනීමේදී ශරීරය ක්‍රියාශිලී වන බැවින් රුධිර සංසරණය වේගවත් වී ඉක්මණින් රුධිරය සිසිල් වන අතරම ශරීරයද සිසිල් කරයි. නමුත් බොහෝ වේලාවක් පිහිනන්නේනම් එසේ පිහිනීමට පෙර සහ පිහිනීම අතරතුර ජලය පානය කිරීම, රුධිරයේ ඝණත්වය අඩු කිරීමටත්, එමඟින් හෘදයට පහසුවෙන් රුධිරය පොම්ප කිරීමට හැකිවීමත් නිසාම ඉතාම හොඳ පුරුද්දක් බව විශෙෂඥ මතයයි.

ස්නානය සඳහා භාවිතාවන ජලයේ උෂ්ණත්වයද මෙහිදී විශේෂයෙන් වැදගත්ය.

ලෝකය ඝර්ම කලාපය, සෞම්‍ය කලාපය සහ ශීත කලාපය ලෙස උෂ්ණත්ව කලාප 3කින් යුක්තය.ඇමරිකාව ඇතුළු බටහිර දියුණු රටවල් සෞම්‍ය කලාපයට අයිති වන අතර එම රට වල ස්නානය සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 44 බව තහවුරු කරගෙන ඇත.

ලෝකයේ උෂ්ණත්ව කලාප

නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට එය ස්වාභාවික ඇල් ජලයේ උෂ්ණත්වය බවයි ආයුර්වේද වෛද්‍ය මතය. එනම් රෝග පීඩාවකින් නොපෙලෙන්නේනම් ඉතාම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමය ඇල් දිය හෙවත් ජලය ස්වාභාවික උෂ්ණත්වයෙන් ස්නානයයි. එනම් සෙල්ශියස් අංශක 22-24 මට්ටමේ ජලයයි.මීට හේතුව ලෙස පරිසර උශ්ණත්වය ශරීරය අධික නිසාවෙන් ( එනම් 18-30 අතර බැවින්) ශරීරය සැහැල්ලු කිරීමට සිසිල් කිරීම අවශ්‍ය වීමයි.

නමුත් සෞම්‍ය කලාපයේදී පරිසර උෂ්ණත්වය අඩු බැවින්  (එනම් 0-15 අතර පවතින බැවින්) මෙලෙස උණුසුම් ජලයෙන් ශරීරය සැහැල්ලු වෙයි.

එබැවින් නිවැරදි ස්නානය එදිනෙදා පිළිවෙතක් මෙන්ම ප්‍රයෝජනවත් සෞඛ්‍යාරක්ෂිත පියවරක් බවත් දනුවත්වී සිට උපකාරයට ගැනීමද නිරෝගී දිවියකට වැදගත්ය.

Images From with Thanks :http://socialnewsdaily.com/47586/are-you-showering-too-often/   and  http://www.mykidsite.com/cute-baby-boy-bathing/

4 comments:

You Might Also Like

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...