Wednesday, August 28, 2019

පොතක් කෙටියෙන් - The Alchemist

Book Cover
"The Alchemist" එහෙමත් නැත්නම් "රසායනඥයා" ලෙස නම් කල මේ කෘතිය ලෝකයේ වැඩිම පිටපත් ගණනක් අලෙවි වූ කෘති අතර ඉහලින්ම තිබෙන්නක්. පාවුලෝ කොඑල්හෝ (Paulo Coelho) නම් බ්‍රසීලියානු ජාතික කතුවරයා විසින් පෘතුගීසි භාෂාවෙන් ලියා 1988 ප්‍රථමවරට ප්‍රකාශණයට පත්කරන ලද මේ පොත මුලින් එතරම් ජනප්‍රියත්වයක් හිමි නොවුනත්, මේ වනවිට පිටපත් කෝටි 6.5ක් විකිණී ඇති ලොව පුරාම අතිශයින් ජනප්‍රිය, ඒ වගේම භාෂා ගණනාවක්ට පරිවර්ථනය වුනු කෘතියක්. 1993 වර්ෂයේදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය වීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ආදරයෙන් වැළඳගත් මෙම කෘතිය එහි කතුවරයා ලෝක ප්‍රසිද්ධ කරන්න සමත් විය.

වයස අවුරුදු 72ක් වන පාවුලෝ කොඑල්හෝ මේ වනවිට පොත් 30කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශණයට පත්කර ඇති අතර ඔහුගේ කෘති පිටපත් මිලියන 150 කට වැඩි ප්‍රමාණයකි විකිණී ඇති බවයි වාර්ථා වන්නේ. 1947 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නුවර සාමාන්‍ය පවුලක උපන් මොහු ලෝක ප්‍රසිද්ධ ගත්කතු වරයෙක් කිරීමට ඔහුගේ 04 වන කෘතිය වන "The Alchemist" පොතට හැකිවෙනව. අද වන විට ඩොලර් මිලියන 500ක වත්කමක් හිමි මෙම කතුවරයා ස්වීට්සලන්තයේ ජිනීවා නගරයේ පදිංචිව සිටිමින් තම සාහිත්‍ය කලා කටයුතු සිදුකරමින් සිටී.

ලොව වටා ග්‍රන්ථ ලෝලීන් මෙන්ම ලෝකප්‍රසිද්ධ පුද්ගලයන් පවා ඇදබැඳ තබාගැනිමට සමත් වූ නිසාම පමණක් නොවෙයි කියවීමෙන් ලැබුණු උත්තේජනයත්  මේ කෘතිය පිළිබඳව සටහනක් තැබීමට අදහසක් මතුකලා.
Paulo Coelho

සැන්ටියාගෝ (Santiago) නම්වූ බැටළු එඩේර තරුණයකු වටා ගෙතෙන මෙම කතාව සිහින දැකීමේ වැදගත්කම පිළිබඳවත් ඒ සිහින හඹායෑම පිලිබඳවත් සාකච්ඡා කරන ස්වයං මාර්ගෝපදේශණ ශෛලියේ කෘතියක්.

ස්පාඤ්ඤයේ අන්දලුසියා (Andalusia) ප්‍රදේශයේ සාමාන්‍ය ගොවි පවුලක උපත ලබන සැන්ටියාගෝ තරුණයා කුඩාකල සිටම තම කුඩා ගමෙන් පිට ලෝකය දැකීමේ ආශාවෙන් සිටින අතර එඩේරෙකු වීමෙන් තම ආශාව ඉටුකර ගැනීමට ඔහු බලාපොරොත්තු වන්නේ ඔවුන් නිතර ගමනේ යෙදෙන නිසාත් වසරකට වරක් පමණක් එක ස්ථානයක් හරහා ගමන් කරන නිසාත්. තම පියාගේ ආශිර්වාදය සමඟ ලැබෙන මුදලින් බැටළු පට්ටියක් මිලදීගන්නා ඔහු අන්දලුසියා ප්‍රදේශය පුරා සංචාරය කරමින් වසර කීපයක් කාලය ගතකරනව.

මේ අතරතුර ඔහුට රෑ නින්දේදී එකම හීනයක් නිතර නිතර පේන්න පටන්ගන්නව. ඒ තමයි ඊජිප්තුවේ ගීzසා පිරමීඩ අසලදී තමන්ට මහා ධන නිධානයක් හමුවීම. මේ තරුණයා ඒ ගැන නිතර සිතමින් තම බැටළු රැළ සමඟ ගමන් කරමින් වරාය නගරය පසුකරත්දී, ඔහුට රජ කෙනෙක් හමුවීමෙන් සහ ඔහුට ඇහුන්කන් දීමෙන් තමන් තම සිහිනය සැබෑකරගැනීමට පෙලඹෙනවා. එනම් ගීසාහී පිරමීඩ කරා ගොස් තමන් දුටු නිධානය සොයාගැනීම.

මෙතැන්සිට කතාව දිවයන්නේ මේ තරුණයා එම ගමනේදී මුහුණදෙන අභියෝග සහ බාධක හමුවේ ඔහු සාර්ථකත්වය කරා යන ගමන. මේ ගමනේදී ඔහුට තවත් සුවිශේෂී චරිත කිහිපයක්ම මුණගැහෙන අතර ඉන් වඩාත්ම වැදගත් පුද්ගලයා වන්නේ රසායණඥයා. ඔහු තරුණයාගේ ඉතා අසීරු අභියෝග වලදී ඉතාම කරුණාවෙන් ඔහුට මඟපෙන්වනවා.

Pyramids of Giza
මේ අභියෝග කිසිවක් කායික නොවන අතර, ඉතාම සරල තීරණ ගැනීම් වල සිට අසීරු මානසික ගැටළු දක්වා තරුණයාට මුහුණ දීමට සිදුවෙනව. කථාව දිගහැරෙනේ එම මානසික අභියෝග ජයගැනීම වෙනුවෙන් තරුණයා සිතන ආකාරය, තර්ක ගොඩනැගීම සහ විසඳුමක් දක්වා ගෙනයන තරුණයාගේ සිතීම් රටාවත්, ගමනේ අත්දැකීම් සග රැස්කරගත් දැනුම නිසා ඔහුගේ චින්තන හැකියාව සහ මානසික ශක්තිය දියුණුකර ගැනීම විදහා පෙන්වන අයුරින්.

පළමු අභියෝගය වන්නේ තමන් මෙතෙක් කාලයක් ජීවත්වුනු ක්‍රමය අතහැරිම සහ තමන් මානසිකව බැඳී සිටින බැටළු රැල අතහැරීමයි. එතැන්සිට මොකොල්ලකෑමට, ජීවිත තර්ජන වලට වැනි අභියෝග වගේම ඔහුට ව්‍යාපාර සාර්ථකත්වය සමඟ ධනයද, එය අත්හැර නැවත සිහිනය හඹායැමේදී බලය, කීර්තිය සමඟ ධනයද හමුවෙනව.

නමුත් ඔහු ඒ සියළු බාධාවන් ජයගනිමින් තම අරමුණ කරා යන ආකාරයත් එහිදී මුහුණදෙන මානසික සටන් ජයගන්නා ආකාරය විග්‍රහ කර ඇති ආකාරයත් නිසා පාඨකයා එය තමාගේ මානසික ස්වාභාවය සමඟ නිතැතින්ම සංසන්දනය කිරීමට පෙලෙඹවීම ඉතාම අපූරු අත්දැකීමක්.

සමාජය මුහුණදෙන පොදු මානසික අභියෝග සහ ඒවාට මුහුණදෙමින් නිවැරදි තීරණ ගැනීම පිළිබඳව සාකච්ඡා වීම නිසාම පාඨකයන් බොහෝදෙනෙක් මෙය "Inspirational" කෘතියක් ලෙස සලනකවා.

මොනවද මේ කතාව තුලින් ලැබූ දේ.....

1. සිහින දැකීම සහ ඊට බිය නොවිය යුතුය

මෙහි සිහින යනුවෙන් හඳුන්වන්නේ නින්දේ දකින සිහින නොවේ. කතාවේදී එසේ සඳහන් වුවද ඉන් සංකේතවත් කරන්නේ මිනිසුන් තම සාර්ථකත්වය වෙනුවෙන් දකින සිහිනයන්ය. ළමා කාලයේදී නිදහසේ සිහින දකින මිනිසුන් වැඩිවියට පැමිණීමත් සමඟින් එය නවතා දමයි. ජීවිතයේ වගකීම් තම කර මත වැටුනු සැනින් සිහින අමතක කරන බොහෝ මීනිසුන් තම එදිනෙදා ප්‍රශ්ණ ගැන වදවෙමින් ඒකාකාරී ජීවිතයට පුරුදු වෙයි. නමුත් සිහින දකින මිනිසුන් පමණක් තම ජීවිතය වෙනස් කරගැනීමට පෙළබෙයි.

2. තම අරමුණු තමන්ට ඉතාම පැහැදිලි විය යුතුය

සාර්ථකත්වය කරා යෑමටනම් සිහිනයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. තම ඉලක්කය තමන්ට ඉතාම පැහැදිලි විය යුතුය. ඉලක්කය වෙත යාමට තමන් සම්පූර්ණ කරගත යුතු අනු ඉලක්ක විග්‍රහ කරගත යුතුය. ඒ වගේම එම ඉලක්කයන් ලඟාකර ගැනීමෙන් තමා ලඟාකර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු මොනවාදැයි පැහැදිලි අදහසක් අවශ්‍යය.

3. ආරම්භ නොකිරීමම යමක් කිරීමට ඇති පලමු බාධකයයි

ආරම්භකිරීමම මුළු වැඩෙන් 50%ක සම්පූර්ණ කිරීමක් ලෙස සලකනු ලබයි. (Starting is 50% completion itself). හේතුව අළුත් යමක් කිරීමට ආරම්භ කිරීමේදී තම ජීවිතයට සිදුවන වෙනස්කම් දරාගැනීමට, එනම්

i) පැරණි වැඩපිළිවෙල නිසා ලැබුනු තමා කැමති දේවල් අත්හැරීමටත්
ii) අළුත් වැඩපිළිවෙල නිසා තමන්ට ලැබීමට නියමිත තමන් අකමැති දේවල් බාරගැනීමටත්

ඇති අකමැත්ත සහ මානසික පසුගාමී ස්වාභාවය නිසා බොහෝ දෙනෙක් අළුත් යමක් ආරම්භ කිරීමට නොපෙලඹෙයි.

4. ‍අසාර්ථක වේවැයි බිය යමක් ආරම්භ කිරීමට ඇති දෙවන බාධකයයි

අසාර්ථක වේවැයි බිය (Fear of failure) ස්වාභාවිකය. එය හැමෝටම පොදු ස්වාභාවයකි. නමුත් ආරම්භ නොකිරීමෙන් ලැබෙන අළුත් කිසිවක් නොමැත. අලුත් දෙයක් කිරීමෙන් සැලසෙන්නේ වාසියම මිස අවාසියක් නොවෙයි.

i) සාර්ථක වුනොත් එහි ප්‍රතිඵල ලැබෙයි.
ii) අසාර්ථක වුනොත් නව අත්දැකීමක් සහ දැනුමක් ලැබෙයි.

එහි වාසියනම් නැවත යමක් කිරීමේදී පෙර අසාර්ථකත්වයේ අත්දැකීමෙන් නැවත එසේ වීම වලක්වා ගැනීමට හැකිවීමයි. මෙලොව කිසිම කෙනෙක් තමන් කරන සියළු දෙයින්ම සාර්ථක වී නොමැති අතරම සාර්ථකත්වය යනු එහි විග්‍රහයෙන්ම අසාර්ථකත්වයන් අතරින් ගොඩනගාගන්නා ජයග්‍රහණයන්ය.

5. විඳවීමට ඇති බිය විඳවීමට වඩා වේදනාකාරීය

අනාගතයේ මට මෙවැනි ප්‍රශ්ණ ඇතිවේයැයි සිතමින් බිය විම ඇත්තටම එම ප්‍රශ්ණයට මුහුණ දිමට වඩා මහත් වේදනාවකි. හේතුව, ඒ ගැන සිතමින් කාලයක් පුරාවට සිතින් විඳවීම ඉතාම අපහසු කරුණක් වන නිසාය. නමුත් ඇත්තටම ඒ ප්‍රශ්ණයට මුහුණදීම එතරම් අපහසු නොවිය හැක.

6. බොහෝ මිනිසුන් ලෝකය තමන්ට තර්ජනයක් ලෙස දකී. එවිට ලෝකයද අනිවාර්යවෙන්ම තමන්ට තර්ජනයකි

මුළු ලෝකයම තමන්ට විරුද්ධයැයි සැලකීම මගින් සිදුවන්නේ තමන් නොදැනුවත්වම තමා අවට පරිසරය වෙත තම අප්‍රසාදය සහ අකමැත්ත පෙන්වීමයි. එවිට නිතැතින්ම ඔවුන් ඊට ඒ සමාන අකාරයෙන්ම ප්‍රතිචාර දක්වන අතර එමගින් නැවතත් තම මතය ප්‍රත්‍යෂ කරගන්න ඔහු දිගින් දිගටම ලෝකයට විරුද්ධව වැඩ කරයි. මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වීම තමන්ට අවැඩක්ම මිස ප්‍රයෝජනවත් දැක්මක් නොවෙයි.

නමුත් මෙම චින්තනයේ විරුද්ධ පැත්තත් මෙවැනිම චක්‍රයක් ඇතිකිරීමට සමත් නිසා එය තම අරමුණු කරා යෑමට ඉතාම ප්‍රයෝජනවත් වන්නේය.

7. සිහින සැබෑකර ගැනීමට යෑමේදී ලෝකය විසින් අපගේ සියළුම හැකියාවන් උරගා බලනු ඇත

මින් අදහස් කරන්නේ යමක සාර්ථකත්වය ලඟාකර ගැනීමටනම් තමන්ගේ උපරිම උත්සාහය යෙදියයුතු බව සහ තම හැකියාවන් උපරිමයෙන් යොදවාගතයුතු බවයි. (100%  in or 100%  out. No middle ground is acceptable) යන්තම් කිරීම හෝ කර බැලීම ප්‍රමාණවත් නොවන බවයි. යමක් කරන්නේනම් තම උපරිමයෙන් කලයුතු බවයි.

8. තම හැකියාවන්හී සහ දැනුමෙහි සීමාවන් තේරුම් ගැනීමත් ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමත් අභියෝගාත්මකය

අසාර්ථක මිනිසුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණය ඔවුන් සියල්ල දන්නාබව සිතීමයි. යමෙක් සාර්ථක වන්නේනම් ප්‍රථමයෙන් තමන් සියල්ල නොදන්නා බවත් තමන්ට බොහෝ දේ ඉගෙනීමටත් පුහුණු වීමටත් අවශ්‍ය බවත් තේරුම් ගැනීම ඉතාම වැදගත්ය (Know yourself first). නමුත් සිහින සැබෑකරගැනීමේ ගමන ඉතාම ඉවසීමෙන් තම අඩුපාඩු තේරුම් ගනිමින් යායුතු ගමනකි.

9. තම දියුණුව යනු පෙර දින හිටි තමන්ට සාපේක්ෂව අද දින තමන්ගේ දියුණුවයි

දියුණුව යනු කිසිදා නිම නොවන ක්‍රියාවලියකි. තම දියුණුව තමන්ටම සාර්ථකව මැනිය හැකි එකම ක්‍රමය ඊයෙට වඩා අද තමන්ගේ ඇති වෙනස සොයාබැලීමයි (Day to day development). පසුගිය පැය 24 තුල තමන් අළුතින් ලබාගත් දියුණුවක් නොමැතිනම් ඒ පැය 24 අපතේ ගිය කාලයකි. එම නිසා දියුණුව කැමති මිනිසුන් නිතරම තම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනී. ස්වයං දියුණුව පෙර කල තමාට සාපේක්ෂවම දකී. කිසිවිටෙක අනෙක් අය සමඟ සංසන්දනය නොකරයි.

10. කිසිම සිහිනයක් එහි සියළුම අරමුණු ඉටුවන තාක් සම්පූර්ණ වූවා යැයි නොසැලකිය යුතුය.

සිහිනයක් සම්පූර්ණ වීම නැතහොත් ඉලක්කයක් සපුරාගැනීම යනු ඊට සම්භන්ද සියලුම අරමුණු හෝ අනු ඉලක්ක සම්පූර්ණ කරගැනීමයි. අතරමඟ නැවතීම හෝ අඩුපාඩු සහිතව කිරීම නියම් සම්පූර්ණ කිරීමක් නොවෙයි. (Get all or none)


ප්‍රබන්ධයක් තුලින් මෙවන් දැක්මක් පෙන්වීම මෙම කෘතිය ලෝකය පුරා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව විය.සියළුදෙනා සාර්ථක වීමට අතිශයින්ම කැමති නමුත් තමාගේ අභ්‍යන්තරයෙන්ම මතුවන බාධක තේරුම් නොගැනීම හෝ තෙරුම් ගත්තද ඒවායින් ගැලවීමට ක්‍රමවේදය නොදැනීම බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන ගැටළුවයි. "The Alchemist" ඒ මගපෙන්වීම ප්‍රබන්ධයක් තුලින් මනාව ඉටුකරයි.

Images from with thanks:
1. www.goodread.com
2. www.amazon.com
3. www.egypttoursportal.com
4. www.quoteambition.com


2 comments:

  1. ඉතා හොඳින් ලියූ උසස් විචාරයක්. සමාජය වඩා යහපත් කිරීමට ඔබ දරන වෑයම අගය කරනවා. ඊලඟ පොත ගැන ලියනකොට ඉන් කුඩා රසවත් කොටසක් සමගම ඉදිරිපත් කලොත් මම කැමතියි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. අදහස පළකිරීමට වඩා පරිවර්ථනය කර පළකිරීම වඩා වගකීමෙන් කළයුත්තක් නිසාවෙන් එසේ කිරීමට නොසිතුවෙමි. පරිවර්ථනයක් කිරීමට තරම් මාගේ ඉංග්‍රීසි දැනුම පරිණත නැතැයි මා දනිමි. ඊළඟ වතාවෙදි පොඩි උත්සහයක් දරන්නම්.

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...