මෙය තමයි නිවැරදි දෙය. අනෙක්වා වැරදිය. යනාදී වශයෙන් තර්ක විතර්ක ගොඩනගමින් වාද විවාද කිරීම පිණිස නොවෙයි.
මේ ඒ සම්බන්ධ දේශණයකි.
“මහණෙනි, සර්පයින්ගෙන් ප්‍රයෝජන ඇත්තාවූ සර්පයන් සොයන්නාවූ සර්පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් තෙම මහත් සර්පයෙකු දක්නේය. හෙතෙම ඒ සර්පයා කඳෙන් හෝ නගුටින් හෝ අල්වාගන්නේය. ඒ සර්පතෙම ආපසු කරකැවී ඔහුගේ අත හෝ බාහුව හෝ මින් පිටත් අන් අඟපසගක් හෝ දෂ්ට කරන්නේය. හෙතෙම ඒ හේතු කොටගෙන මරණයට හෝ පැමිණෙන්නේය. මරණය සමාන දුකට හෝ පැමිණෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ සර්පයා වරදවා අල්වාගත් හෙයිනි.
“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙන ගන්නාහුය. ඔව්හු ඒ ධර්මය ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි.
ඔව්හු අන්‍ය වාදවලට දෙස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරෝපයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති.
යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුලුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී.
ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි."
.............
“මහණෙනි, තොපට ධර්මය පහුරකට උපමාකොට දෙසන්නෙමි. එය එතරවීම පිණිසය, ග්‍රහණය කරගෙන සිටීම පිණිස නොවේ. එය අසව්. මනාකොට මෙනෙහි කරව කියන්නෙමි”
“එසේය. ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
“මහණෙනි, දීර්ඝ මාර්ගයක යන්නාවූ පුරුෂයෙක් සැක සහිතවූ භය සහිතවූ මෙතෙර ඇති සැක රහිතවූ භය රහිතවූ එතෙර ඇති මහත් සාගරය වැනි ජලයක් දක්නේය. ඔහුට එයින් එතෙරවීම පිණිස පැදයාහැකි නැවක් හෝ උඩින් යනු සඳහා ඒදණ්ඩක් හෝ නැත්තේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය.
‘මේ මහා ජලස්කන්ධය විශාලය. එහි මෙතෙර සැක සහිතය. භය සහිතය. එතෙර සැක රහිතය. භය රහිතය. එහා මෙහා යාම සඳහා නැවක්වත් ඒදණ්ඩක්වත් නැත. මම තෘණ ලී දඬු අතු කොළ ඇදගෙන පහුරක් බැඳ ඒ පහුර නිසා අත් පාවලින් පදිමින් සුවසේ එතෙර වන්නෙම් නම් යෙහෙකි’ (කියාය)
මහණෙනි, ඉක්බිති ඒ පුරුෂ තෙම තෘණ ලීදඬු අතු කොළ රැස්කොට පහුරක් බැඳගෙන අතින් හා පයින් වෑයම් කරමින් සැපසේ එතෙරට යන්නේය.
“එතෙරට ගියාවූ ඔහුට මෙබඳු අදහසක් වන්නේය.
‘මේ පහුර මට බොහෝ උපකාර ඇත්තේය. මම මේ පහුර නිසා අත් පාවලින් උත්සාහ කොට සැපසේ මේ මහ වතුරෙන් එගොඩ වීමි. මේ පහුර හිසෙහි තබාගෙන හෝ කරෙහි තබාගෙන හෝ කැමති තැනකට යන්නෙම් නම් යෙහෙකැ’යි (කියායි.)
මහණෙනි, කුමක් සිතව්ද, එසේ කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙකැයි සිතන්නාහුද?”
“නැත, ස්වාමීනි.”
“මහණෙනි, කෙසේ ක්‍රියා කරන්නාවූ ඒ පුරුෂයා ඒ පහුරට නියම කටයුත්ත කළ කෙනෙක් වන්නේද?
මහණෙනි, එතෙරවූ ඒ පුද්ගලයාට මෙබඳු කල්පනාවක් වෙයි.
‘මේ පහුර මට බොහෝ උපකාරවත් විය. මේ පහුර නිසා මම අතින් පයින් වෑයම් කරමින් සැපසේ එතෙර වීමි. මේ පහුර ගොඩට ඇද දමා හෝ දියෙහි පාකර යවා හෝ කැමති තැනට යන්නෙම් නම් යෙහෙක’ (කියායි)
මහණෙනි, මෙසේ කරන්නාවූ ඒ පුද්ගලයා වනාහි ඒ පහුරට නියම කටයුත්ත කරන්නෙක් වන්නේය. එසේම මා විසින් තොපට ධර්මය පහුරකට උපමා කොට දෙශනා කරන ලද්දේය. එය එතරවීමට මිස ග්‍රහණය කරගෙන සිටීමට නොවේ. මහණෙනි, ධර්මය පහුරකට උපමා කොට දෙසනලදැයි දන්නාවූ තොප විසින් ධර්මයෝද දුරු කටයුත්තාහ. අධර්ම ගැන කියනුම කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්ම, වෙදල්ල යන ධර්ම ඉගෙනගන්නාහුය. ඔහු ඒ ධර්ම ඉගෙන ඒ ධර්මයන්ගේ අර්ථය නුවණින් සලකා නොබලන්නාහුය. නුවණින් අර්ථය සලකා නොබලන්නාවූ ඔවුනට එය හොඳින් නොවැටහෙයි. ඔව්හු අන්‍ය වාදවලට දොස් දැක්වීමේ හෝ තමන්ගේ වාදය අන්‍යයන්ගේ දෝෂාරොපනයෙන් නිදහස් කරගැනීමේ හෝ අදහසින් ධර්මය උගනිති. යම්කිසි ප්‍රයෝජනයක් සඳහා ධර්මය උගනිත් නම් ඒ ප්‍රයෝජනයද නොලබත්. නොමනාව ගන්නා ලද්දාවූ ඔවුන්ගේ ඒ ධර්මය බොහෝ කාලයක් මුළුල්ලෙහි ඔවුනට අවැඩ පිණිස දුක් පිණිස පවතී. ඊට හේතු කවරේද යත්? මහණෙනි, ධර්මය නොමනාව ගත් බැවිනි."
ත්‍රිපිටකය- සූත්‍ර පිටකය - මජ්ඣිම නිකාය - මූල පණ්ණාසකය - ඕපම්ම වර්ගය - 2. අලගද්දූපම සූත්‍රය ( ධර්මය පහුරට උපමා කොට වදාළ දෙසුම )
සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් - pitaka.lk
Image frim with Thanks : https://www.pinterest.com/pin/535717318147350703/
No comments:
Post a Comment