Monday, September 5, 2016

පුණ්‍ය ක්‍රියා -1 (දානය)

පෙර ලිපියෙන් පින සහ කුසලය පිළිබඳව හැදින්වීමක් සිදුකරන ලද අතර දස පුණ්‍ය ක්‍රියා වලට අයත් දානය පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ දේශණා කීපයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කිරීමට අදහස් කරමි.දානය යනු දීමයි.එනම් කිසිම දෙයක්, අවම තරමින් ස්තූති, ප්‍රශංසාවක් පමණවත් නැවත බලාපොරොත්තු නොවී තමා සතු දෙයක් තවත් අයෙකුට දීමයි.මෙහිදී දානය තුන් ආකාර වෙයි.වස්තු දානය,අභය දානය,ධර්ම දානය ලෙසයි.මෙහිදී වස්තු දානය යනු තමා සතු වස්තුව දීමයි. අභය දානය යනු ජීවිතය ලබාදීමයි. ධර්ම දානය යනු බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කරන ලද ශ්‍රී සද්ධර්මය ලබාදීමයි.

මෙහිදී ධර්ම දානය බුදුරජාණන් වහන්සේගේ ධර්මයම, ඒ ශ්‍රී සද්ධර්මයම එලෙසම කියා දීමයි. ත්‍රිපිඨක ධර්මයම කියාදීමයි. තම මතයන් හෝ තමන්ගේ ඉගෙනීම්, අවබෝධයන් හෝ තේරුම් ගැනීම් නොව පැහැදිලි ත්‍රිපිඨක ධර්මයම එලෙසින්ම කියාදීමයි. එය ඉතාම වැදගත් වන අතරම ත්‍රිපිඨකයෙන් පරිභාහිර දේ කියා දීම, ධර්මය ලෙස දැක්වීම හෝ අර්ථකථනය කිරීම අකුසලයක් වන බවද දැනගත යුතුය.



ජීවිත දානය  යනු ඕනෑම සත්වයෙකුට ජීවත් වීමට අවස්ථාව ලබා දීමයි. ජීවිතයට හානියක් වීමට ඇති අවස්ථාවන්ගෙන් බේරාගැනීමය. එවැනි අවස්ථා වලින් වැලක්වීමයි.

වස්තු දානහෙවත් තමා සතු වන භෞතික සම්පත් හෝ ශාරීරික කොටස් දන් දීම එහි ඇති විවිධත්වය නිසාම ඒ පිළිබඳව ධර්මයේදී දීර්ඝ වශයෙන් සඳහන්ව ඇත.මෙහිදී "අඞ්ගුත්තරනිකායේ, නවකනිපාත පාළියෙහි, සීහනාද වග්ගයෙහි දසවන සූත්‍රය ලෙස සඳහන් අනේපිඬු සිටුතුමාට දේශ්ණා කරන"වේලාම සූත්‍ර" දේශණාවේදී දානය දෙන දේ පිළිබඳව සඳහන් වන්නේ මෙලෙසයි.

"ගෘහපතිය, රූක්‍ෂව (කටුකව) හෝ දන් දෙයිද, ප්‍රණීතව හෝ දෙයිද, 
සකස්කොට දෙයිද, 
චිත්තීකෘතව ගෞරවයෙන් දෙයිද, 
සියතින් දෙයිද, 
අහක දමන ලද්දක් සේ නොදෙයිද, 
කම්පල අදහා දෙයිද, 
 යම් යම් තැනක ඒ ඒ දානයාගේ විපාකය නිපදීද, උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත (එසේ කල්හි) උදාරවූ යාන පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ වස්ත්‍ර පරිභෝගය පිණිස, සිත නැමෙයි. ඔහුගේ යම් ඒ පුත්‍රයෝ හෝ වෙත්ද, දාරයෝ (අඹුවෝ) හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද කීකරු වෙත්. කන් යොමා තබත්. දැන ගැනීම පිණිස සිත එළවා තබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, සකස් කොට කරණ ලද කර්‍මයන්ගේ විපාකය වෙයි."

එනම් දානය ලෙස දෙන දෙය, ඉතාම ප්‍රණීත දෙයක් හෝ එතරම් ප්‍රණීත නොවන දෙයක් විය හැක.ඉතාම වටිනා දෙයක් හෝ නොවටිනා දෙයක් විය හැක. දානය දෙන දේ නොව දෙන ආකාරයේ ඇති වැදගත්කම මෙම දේශණාවෙන් පෙන්වා දෙයි.

"සක්කච්චං දෙති". එනම් තමා දන් දෙන දෙය මනාව සකස්කොට දිය යුතුය. සකස්කොට දීම යනු ඉතාම හොඳින් පිළිවෙලඉන් පිළියෙලකොට, තමන් ඉතාම ගරු කරන කෙනාට යමක් දෙන්නේද, එලෙසින් දීමයි.

"චිත්තීකත්වා දෙති" නම් වූ එකඟ සිතින්,ගෞරව සිතින් දීම යනු දානය ලබන්නාට ගරු කරමින්, තත්වය නොසලකමින් අවස්ථානුකූලව දිය හැකි උපරිම ගෞරවය සමඟින්ම දානය දිය යුතුය.

"සහත්ථා දෙති" නම් වූ සියතින් දීමද ඉතාම වැදගත්ය.තමා යමක් දෙන්නේනම් තමා විසින්ම, තම අතින්ම දිය යුතුය.අන් අයට දීමට පවරා පසෙකට නොවිය යුතුය.එසේම අන් අයට නොදී තමා විතරක්ද නොකල යුතුය.තමාත් අනෙක් අය සමඟ එක්ව තම අතින්ම, තමා මූලිකත්වය ගෙනම දිය යුතුය.

"අනපවිද්ධං දෙති" යනුවෙන් හඳුන්වනුයේ ඉවත නොදමන දෙයක් දීමයි.ඉවත් කරන දෙයක් නොදීමයි. දියයුත්තේ තමාගේ භාවිතයට ගන්නා යමක් වේද,නො එසේනම් එයිටත් වඩා හොඳ දෙයක් වේද, එවන් වූ වටිනා දෙයකි.එනම් දිය හැකි හොඳම දේ දීමයි.

"ආගමනදිට්ඨිකො දෙති" යනුවෙන් හඳුන්වන්නේ 'දානය දීම සැප විපාක පිණිස හේතු වෙයි' ලෙස කර්මයත්, කර්ම ඵලයත් අදහාගනිමින්, පිළිගනිමින් දන් දීමයි.

මෙම කරුණු 5 නැවතත් විස්තරාත්මකව කරුණු 8ක් ලෙස විස්තර කර ඇත.

"අඞ්ගුත්තරනිකායේ,අට්ඨකාදි නිපාතපාළියෙහි, දාන වග්ගයෙහි, සඳහන් සප්පුරිසදාන සූත්‍රයෙහි " එම කරුණු 8 මෙලෙස විස්තර කර ඇත.

"මහණෙනි, මේ අට සත්පුරුෂ දානයෝ වෙත්. කවර අටෙක්ද යත්? 

1. පිරිසිදුව දෙයි. 
2. ප්‍රණීතව දෙයි. 
3. සුදුසු කාලයෙහි දෙයි. 
4. කැප දේ දෙයි. 
5. ප්‍රතිග්‍රාහකයන් හෝ දාන වස්තුව පරීක්‍ෂාකොට දෙයි. 
6. නිතර දෙයි. 
7. දෙන කල්හි සිත පහදවා දෙයි. 
8. දානය දුන් පසු සිත සතුටු කර ගනී. 
මහණෙනි, මේ අට සත්පුරුෂ දානයෝයි."

පිරිසිදුවත් ප්‍රණීතවත් දීම ප්‍රථම කරුණු 2යි.

සුදුසු කාලයෙහි දීම හෙවත් දන්දෙන දෙය දීමට සුදුසු කාලය සලකා දෙයි.ආහාරයක් හෝ වේවා, බීමට දෙයක් වේවා ඊට ගැලපෙන කාලයේදී දිය යුතුය.අවේලාවේ නොදිය යුතුය.

කැප දේ හෙවත් ගැලපෙන දේ දෙයි. ලබාගන්නාට නොගැලපෙන දේ නොදෙයි. ස්වාමීන් වහන්සේ නමකට සිවුරු හැර අනෙක් ඇඳුම් පැලදුම් අකැපය.නමුත් දුප්පත් අයෙකුට වුව ගිහියෙක්නම් සිවුරු අකැපය. පුරුෂයෙකුට ස්ත්‍රී වස්ත්‍රාභරණ කැප නොවෙයි. ස්ත්‍රියකටද පුරුෂ වස්ත්‍රාභරණ අකැපය. මෙලෙස කැප දේ සලකා දිය යුතුය.

කැප දේ හෙවත් ගැලපෙන දේ දෙයි. ලබාගන්නාට නොගැලපෙන දේ නොදෙයි. ස්වාමීන් වහන්සේ නමකට සිවුරු හැර අනෙක් ඇඳුම් පැලදුම් අකැපය.නමුත් දුප්පත් අයෙකුට වුව ගිහියෙක්නම් සිවුරු අකැපය. පුරුෂයෙකුට ස්ත්‍රී වස්ත්‍රාභරණ කැප නොවෙයි. ස්ත්‍රියකටද පුරුෂ වස්ත්‍රාභරණ අකැපය. මෙලෙස කැප දේ සලකා දිය යුතුය.

ප්‍රතිග්‍රාහකයා සහ දෙන දෙය පරීක්ෂා කලයුත්තේ දෙන දේ මගින් කිසියම් අපහාසයක් හෝ අපසුතාවයක් ඇතිවීම වැලක්වීමේ අරමුනිනි. දෙන දෙය නිසා ලබන්නාගේ සිතෙහි අප්‍රසාදයක් සිත් රිදීමක් ඇතිනොවනු පිණිස දීමට පෙර පරීක්ෂාකර දිය යුතුය.

එලෙසම, නිතර හැකි පමණින් දිය යුතුය. සතුටු වූ, පහැදුනු සිතින් දිය යුතුය. දුන් පසුත් ඒ සිතේ සතුට රැකගත යුතුය. මතක් කරමින් සතුටු විය යුතුය.

මේ සත්පුරුෂයන් දානය දෙන ආකාරයයි.

දානයෙහි විපාක පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෝතමී දේවියගේ චීවර පූජාව අරභයා ආනන්ද හිමියන්ට දේශණාකල, මජ්ඣිමනිකායෙහි උපරිපණ්ණාස පාළියෙහි  විභංග වග්ගයෙහි දොලොස් වන සූත්‍ර දේශණාව වන 'දක්ඛිණ විභංග සූත්‍රයෙහි' මෙලෙස සඳහන් වෙයි.

“ආනන්දය, ඔවුන් අතුරෙන් 
1. තිරිසන් ගතවූවකු කෙරෙහි දානයදී සියයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. 
2. පෘථග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී, දහසක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය.
3. පෘථග්ජන සීලවන්තයෙකු කෙරෙහි දානය දී ලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. 
4. ශාසනයෙන් පිටත්හිවූ කාමයන්හි පහවූ රාගය ඇත්තකු කෙරෙහි දානය දී කෝටිලක්ෂයක් අනුසස් ඇත්තාවූ දානය කැමැති විය යුත්තේය. 
5. සෝවාන්ඵලය ප්‍රත්‍යක්ෂකිරීම පිණිස පිළිපන්නකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ අනුසස් ඇති දානය කැමැති විය යුත්තේය. 
6. සෝවාන් පුද්ගලයෙකු කෙරෙහි කියනුම කවරේද? 
7. සකෘදාගාමි ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? 
8. සකෘදාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද? 
9. අනාගාමිඵලය ප්‍රත්‍යක්ෂකිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? 
10. අනාගාමි පුද්ගලයෙකුට කියනුම කවරේද?
11. අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීමට පිළිපන්නකු කෙරෙහි කියනුම කවරේද? 
12. තථාගත ශ්‍රාවකවූ රහතන් වහන්සේ කෙරෙහි කියනුම කවරේද? 
13. පසේබුදුන් කෙරෙහි කියනුම කවරේද? 
14. අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ කෙරෙහි (දුන් දනෙහි අනුසස්) කියනුම කවරේද?"

එබැවින් පුද්ගලික දානයක් ලෙස යම් දානයක් දෙයිද, මෙම 14 ආකාරයේ පුද්ගලික දානයෙන් එකක් ලෙස දිය හැක. එහිදී තිරිසන් සතෙකුට වුවද සත්පුරුෂ දානයක් දෙයි නම් 100 ගුණයක විපාක ඇති බව සඳහන් වෙයි.

එසේම සාංඝික දානද 7ක් වෙයි. එනම්,

“ආනන්දය, මේ සංඝික දාන සතක් වෙත්. කවර සතක්දයත්? 
1. බුදුන් ප්‍රධාන (භික්ෂු භික්ෂුණී යන) උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය පළමුවන සංඝික දානයයි. 2. තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි උභතො සංඝයා විෂයෙහි දානය දේද, මෙය දෙවන සංඝික දානයයි. 3. භික්ෂු සංඝයා විෂයෙහි දානය දේද, මේ තුන්වන සංඝික දානයයි. 
4. භික්ෂුණී සංඝයා විෂයෙහි දානය දේද, මේ සතරවන සංඝික දානයයි. 
5. මෙතෙක් භික්ෂුහුද භික්ෂුණීහුද මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය පස්වන සංඝික දානයයි. 
6. මෙතෙක් භික්ෂූහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සයවෙනි සංඝික දානයයි. 
7. මෙපමණ භික්ෂුණීහු මට සංඝයා කෙරෙන් දෙනු මැනවැයි ලබාගෙන දානය දේද, මෙය සත්වෙනි සංඝික දානයයි. "

පුද්ගලික දානයන්ට වඩා සාංඝික දානයම මහත් ආනිශංස ලැබෙන දානයයි.මෙහිදී භික්ෂුව දුසිල්වත් වුවද, සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, කාෂ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය අරමුණු කර සාංඝීක කොට දානය පූජා කරන්නේනම් එයද සාංඝීක දානයම බව උන්වහන්සේ පෙන්වාදෙන සේක.

"ආනන්දය, මතු කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක් ඇත්තාවූ, ලාමක ස්වභාව ඇත්තාවූ, කාසාවකණ්ඨ නම් දුශ්ශීලයෝ වන්නාහුමය. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දානය දෙන්නාහුය. ආනන්දය, එකල්හිද මම සංඝගත දානය සංඛ්‍යාවක් නැති, ප්‍රමාණයක් නැති අනුසස් ඇත්තකැයි කියමි. 

ආනන්දය, කිසියම් ආකාරයකින් සංඝික දානයට වඩා පුද්ගලික දානය අතිශයින් මහත්ඵල ඇත්තේයයි නොමකියමි."

ඉන් අදහස් වන්නේ සාංඝික දානයම දිය යුතු බව නොවේ. දානයක් දීමට යම් කුඩා හෝ අවස්ථාවක් පැමිණියද ඉන් ප්‍රයෝජන ගත යුතුය. ලැබෙන සෑම අවස්ථාවකදීම දන් දිය යුතුය.

තවද දන් දීමේදී දානයේ පිරිසිදු බව ගැනද බුදුරජාණන් වහන්සේ මෙලෙස පෙන්වා දී තිබේ.

 “සිල්වත්වූ යමෙක් දැහැමින් ලද දෙයින් මනා පහන් සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය අදහමින් දුශ්ශීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදු වේ.
“යම් දුශ්ශීලයෙක් අධර්මයෙක් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් නැත්තේ මහත්වූ කර්මඵලය නොඅදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදු වේ.
“යම් දුශ්ශීලයෙක් තෙම අධර්මයෙන් ලදදෙයින් අප්‍රසන්න සිත් ඇත්තේ, මහත්වූ කර්මඵලය නොඅදහමින් දුස්සීලයන් කෙරෙහි දානය දේද, ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.
“යම් සීලවන්තයෙක් තෙම දැහැමින් ලද දෙයින් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් සීලවන්තයන් කෙරෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය මහත්වූ විපාක ඇත්තේයයි කියමි.
“යම් පහවූ රාග ඇති පුද්ගලයෙක් දැහැමින් ලදදෙයින් යහපත් ප්‍රසන්නවූ සිත් ඇත්තේ මහත්වූ කර්මඵලය අදහමින් රහතුන් විෂයෙහි දානය දේද, ඒකාන්තයෙන් ඒ දානය ආමිෂ දාන අතුරෙන් අග්‍රයයි කියමි."

දානය දෙන්නාද,

1. සිල්වත්ව සිට දන් දිය යුතුය.
2. ධාර්මිකව උපයාගත් දෙයින් දන් දිය යුතුය.
3. පහන් සිතින්ම දන් දිය යුතුය.
4. කර්ම ඵල අදහමින් දන් දිය යුතුය.

දානය ලබන්නාද සීලවන්තයෙක්නම් එම දානය මහත් ඵල ලබන්නක් වෙයි.

එබැවින් රහතන් වහන්සේලාට දෙන දානයම අග්‍ර වෙයි. ඒ රහතන් වහන්සේලා උපරිම සීලයෙන් යුක්ත බැවිනි.

මෙම දන් දීම හෙවත් දානය පිළිබඳව තවත් බොහෝ විස්තර "අඞ්ගුත්තරනිකායේ,අට්ඨකාදි නිපාතපාළියෙහි, දාන වග්ගයෙහිම සඳහන්වන සූත්‍ර දෙශණා 10ක් ඔස්සේ තව තවත් ගැඹුරෙන් විස්තර කොට ඇත.

එබැවින් ගෙදරට පැමිණෙන අමුත්තෙකුට කරනු ලබන සංග්‍රහයක් වුව, සත්පුරුෂ දානයක් ලෙස සලකා කරන්නේනම් එයද මහත් ඵල ලැබෙන්නක් වන්නේය.

ගෙදර වාසය කරන්නවූ සතෙකුට වුව මෙලෙස යමක් දෙන්නේනම් එය පවා මහත් ඵල  ලැබෙන්නාවූ දානයකි.

සූත්‍ර පාඨ උපුටාගැනීම, ස්තූතිය සමඟින් -  pitaka.lk

Image from with Thanks: http://www.shutterstock.com/pic-421113967/stock-photo-muscular-man-with-arms-giving-an-apple.html

No comments:

Post a Comment

You Might Also Like

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...