Tuesday, October 4, 2016

දිලිසෙන දේවල් එකතු කිරීම.

පොල්කිච්චන් සහ කවුඩු පනික්කියන් යනු දිලිසෙන දේවල් එකතු කිරීමට ඉතාම කැමති කුරුල්ලන් දෙදෙනෙකි. මෙවැනිම තවත් කුරුල්ලන් කීපදෙනෙක්ම සිටිති. මෙම කුරුල්ලන්ගේ විශේෂත්වය මෙවන් දිලිසෙන දේවල් (වීදුරු කැබලි, අභරණ වැනි දේ)රැගෙන ගොස් තම කූඩුවෙහි හෝ වෙසෙන පරිසරයෙහි අවට තබාගැනීම සහ එවැනි දිලිසෙන දේවල් ලබාගැනීම සඳහා ඔවුන් අනතුරුද නොසලකා නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමයි.
මෙලෙස නිවාස, ගොඩනැගිලි ආදියට ඇතුළු වීමේන් මිනිසුන්ගෙන්, ලමයින්ගෙන් මෙන්ම පුසන් වැනි සතුන්ගෙන්ද මෙම කුරුල්ලන්ගේ ජීවිතයට අනතුරක් වීමට ඉතාම ඉහල ඉඩකඩක් ඇත.නමුත් එවන් අනතුරුදායක තත්වයන්ටද මුහුණදී ලබාගත් දෙයින් ඔවුන් ලබාගන්නා ප්‍රයෝජනය කුමක්ද? ඒ දෙස බලා සතුටුවීම හැර වෙනත් කිසිවක් නැත.

මෙම සිදුවීම දකිනවිට නිතැතින්ම සිහිවන සමාජ සංසිද්ධිය වනුයේ මිනිසුන්ගේ භාණ්ඩ මිලදීගැනීමයි. වෙළඳ ප්‍රචාරණ යාන්ත්‍රණයන්ගේද පිහිටෙන්, ආශාව , මානය සහ සමහර විටෙක ඊර්ෂ්‍යාවද මූලික කරගනිමින් සිදුකරනු ලබන භාණ්ඩ මිලදී ගැනීම බොහෝවිට අවශ්‍යතාවයටත් වඩා දෑස නිලංකාර කරවන දෙයම වන ස්වාභාවයක් පෙනෙයි.

තේ බොන කෝප්පයේ (Mug) එකේ සිට රථවාහන සහ සමහරවිට නිවාස මිළදීගැනීම දක්වාම වෙළඳපොල තුල මිලදීගැනීමේ නැඹුරුව අවශ්‍යතාවය පරයමින් ආශාව මතුවන අවස්ථා වැඩි බව නිතර පෙනෙන ලක්ෂණයකි. තමන් වඩාත් ආශා කරන දෙය මිලදී ගැනීමෙහි වරදක් නැත. එමඟින් තමන් ලබන තෘප්තිය ඊට වටිනාකමක් සපයන බැවිනි. නමුත් එහි අවශ්‍යතාවය සැලකීම හොඳ කළමනාකරණ ලක්ෂණයකි. දියුණුවේ රන් දොරටුවක් වන ආරක්ඛ සම්පත්තියට සහ සම්ජීවිකතාවයට මෙම කළමනාකරණය ඉතාම වැදගත් වෙයි.

භාණ්ඩ මිලදී ගැනීමේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු 2කි.

1. අවශ්‍යතාවය
භාණ්ඩයක් මිලදීගැනීම අනිවාර්යෙන්ම කිසියම් අවශ්‍යතාවයක් මුල්කරගෙන සිදුකරන්නකි. මෙය මූලික අවශ්‍යතාවයක්ද නැතිද යන්න මත මිලදීගැනීමෙහි ප්‍රමුඛ හාවය හිමි වෙයි. ඉන්පසු අවශ්‍යතාවයට කෙතරම් ගැලපෙන්නේද යන්න මත තෝරාගැනීම සිදුවෙයි.

උදා: පාසල් ශිෂ්‍යයෙකුට පොත් මිලදීගැනීමේදී එම ශිෂ්‍යයාගේ වයස සහ ඉගෙනුම ලබන විෂයන් අනුව පොත් සහ අනෙකුත් උපකරණ මිලදීගැනීම තීරණය වන අතර 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකුට උසස්පෙළ පොත පත මිළදී නොගනී.

2. අගය
මිලදීගන්නා දෙයින් ලබාගන්නා ආර්ථික හෝ වෙනත් ප්‍රතිලාභය, ඒ සඳහා වැය කරන මිළට සාධාරණයක් ඉටුකරයිද යන්න මීලඟ වැදගත් කරුණයි. එනම් මුදල් වැයකිරීමේ ඵලදායීතාවයයි. යමක් මිලදීගැනීමෙන් පසු ඉන් ගතහැකි උපරිම ප්‍රයෝජනය එහි අයුකාලය තුල නොගන්නේනම් හෝ ඉන් අවශ්‍ය ප්‍රයෝජනය සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ගත නොහැකිනම් ඒ සඳහා වැයකල මිළට සාධාරණයක් ඉටු නොවෙයි.

උදා: පරිගණක මිලදීගැනීමක් සළකමු. අවශ්‍යතාවය සලකා ඩෙස්ටොප් හෝ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් මිලදී ගැනීම සලකා ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් මිලදී ගැනීමට තීරණය කලා යැයි සිතමු. මිල්දී ගන්නා පරිගණකයේ තාක්ෂණික දත්ත සහ හැකියාවන් සලකා බලා වඩාත්ම තම කාර්යයට ගැලපෙන යන්ත්‍රය මිස වඩාත්ම වේගවත්ම, නවීනතම, විශාලතම තිරය සහිත, ඉතාම ලස්සනම නිර්මාණය මිලදී ගැනීම නොකල යුතුය.

නරකම, කැතම හෝ ලාභම භාණ්ඩය මිලදීගත යුතුයැයි මින් අදහස් නොකරයි. ඇසට ප්‍රිය, අලංකාර දේ මිළදීගැනීමෙහි වරදක් නොමැත. නමුත් එමඟින් තම අවශ්‍යතාවය සහ කාර්යයෙහි අගය සපිරේනම් පමණි.
වර්ථමානයේ මෙන්ම මෑත අතීතයේද පරිභෝජන භාණ්ඩ සුලභ වීමත් සමඟ බොහෝ නිවෙස්වල අත්‍යාවශ්‍ය නොවන මෙන්ම, අවශ්‍යද නොවන බොහෝ දේ තැන තැන තබා ඇති අයුරුත්, සමහරවිට තැනක ගොඩගසා තිබෙන අයුරුත් දකින්නට හැකිවන්නේ මේ කරුණු නොසලකා සිදුකරන මිළදීගැනීම් හේතුවෙනි.

සමහර විටෙක මිලදීගැනීම උදෙසාද ණය වෙති. නමුත් භාණ්ඩයෙන් ලබන ප්‍රතිලාභයෙන් ණය පියවිය නොහැකි වීම නිසා බොහෝ අපහසුතාවයනට පත් වෙති. සමහර විටෙක මිලදීගත් දෙය නඩත්තු කිරීමට ණය වෙති. ප්‍රතිලාභයෙන් ණය පියවිය නොහැකි වීම නිසා නැවත බොහෝ අපහසුතාවයනට පත් වෙති. මේ සමජීවිකතාවය නොසලකාහැරීම නිසා සිදුවන්නකි.

සමහර මිලදීගැනීම් භාවිතයක් නොමැත. ගෙන ආ පසු ටික දිනකින් තිබූ තැනම අමතක් වී හෝ නොසලකා හැරී යයි. මේ තම සම්පත් හෝ ධනය නිසි භාවිතයේ නොයෙදීම හෙවත් ආරක්ඛ සම්පදාව නොමැතිවීමයි.

ඇඳුම්, ආහාර, ගෘහ සහ විදුලි උපකරණ, ආභරණ සහ පැළඳීම්, ඉලෙක්ට්‍රොනික සහ සන්නිවේදන උපකරණ, පරිගණක, යන්ත්‍ර සූත්‍ර, වාහන සහ ගේ දොර දේපල මිලදී ගැනීම ඇතුළු සියළුම මුදල් වැය කිරීම් තුල මෙම ස්වාභාවය දක්නට ලැබෙයි. තරඟකාරීත්වය සහ පාලනයක් නොමැති වෙළඳ ප්‍රචාරණයෙන් සිදුකරනු ලබන ආශාවන් ඉලිප්පීම සහ සමහර විටෙක සිදු වන භය කිරීමද මෙයට නිරන්තර උත්තේජනයක් සපයයි.

මෙම සිදුවීම පොල්කිච්චාගේ හෝ කවුඩුපණික්කියගේ ක්‍රියාවලියට වඩා වෙනස් වන්නේ කුරුල්ලාගේ සොරකම් කිරීම හෝ පැහැරගැනීම වෙනුවට තමන් මහන්සියෙන් උපයගත් ධනය මේ අනවශ්‍ය පරිභෝජනය වෙනුවෙන් වැයකිරීමයි. එමඟින් අනාගත ආපදාවකදී ( රෝගයක්, හදිසි අවස්ථාවක් වැනි ) ප්‍රයෝජනයට අවශ්‍ය ඉතුරුම් ප්‍රමාණය අඩු කිරීමයි. නො එසේනම් ඉතුරුම් කිසිසේත්ම නොමැති වීමයි. එමෙන්ම මේ ධන අවශ්‍යතාවය තම ආදායමට වඩා වැඩිනම් එම ප්‍රමාණය සපයාගැනීම උදෙසා සොරකම හෝ පැහරගැනීම අයත්වන නීතිවිරෝධී දෙයට පෙළඹී සිටිනු දක්නට ලැබීමද දුලභ නොවෙයි.

මෙම ආර්ථික ක්‍රමවේදය තුලින් ඇතිවන පවුලේ ආර්ථික පිරිහීම, ගෙනෙන මානසික පීඩනය මෙන්ම නොසන්සුන්තාවයද නිසා මුළු සමාජයම ආර්ථිකවද සහසාමාජීයවද පහලට ඇදවැටීමට මෙම ආර්ථික ක්‍රමවේදයම රුකුල්දෙනු ඇතැයි සිතෙන තරමටම එය අප සමාජය තුල විසිරී පැතිරී ඇත.

Image from with thanks: http://www.viralforest.com/bower-bird/

10 comments:

  1. ඔය භාණ්ඩ මිලදී ගැනීම ගැන ලොකු පොතක්ම තියනවනේ.

    ReplyDelete
    Replies
    1. තියනව. පොත් විතරක් නෙවෙයි, අන්තර්ජාලයේ උනත් විවිධ උපදෙස්, පත්‍රිකා ආදියත් තියනව. නමුත් ඒ දැනුම සමාජගත වෙන්නෙ නෑනෙ. වෙළඳ අධිකාරිය කරන්නේ ඒ දැනුම වලක්වන එක. රූපවාහිනී ආදී මධ්‍ය දැන්වීම් වලට අමතරව, ටෙලිනට්‍ය, චිත්‍රපටි, පත්තර ආදියෙනුත් පොළඹවන්නෙ හැකිතරම් මිලදීගැනීමට මිසක් නිවැරදි දැනුවත් කිරීමකට නොවෙයි.

      Delete
  2. මුලින් කියවගෙන ආපු කතන්දරේ තවත් විස්තර හොයාගෙන ඉදිරිපත් කරානං හොදා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. දිලිසෙන දේවල් එකතු කරන පොල්කිච්චෙක් දැක්කම ඇතිවුනු හැඟීම නිසා මෙහෙම ලිව්වෙ. අපේ භාණ්ඩ මිලදීගැනීමත් මේ වගේ නේද කියල හිතුන. මේ කුරුල්ලො ගැනත් වෙලාවක ලියමු.

      Delete
  3. මහා නගරආශ්‍රිතවකූදු හදන කුරුල්ලන් වර කැබලි කම්බි ආදිය යොදාගන්නවා. ස්වභාවික ද්‍රවය් ඒ පරිසරයේ හිග නිසා වෙන්න ඇති. ඇත්තටම සත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් අපට ජීවිතයටම උගතහැකි පාඩම් බොහොමයි.

    දන්නවද වැඩක්? හමුදාවේදී යුද්ධමය කාර්යයකදී අවශ්‍යතා ඉටුකරගන්න ක්‍රම තුනක් තියනවා. හැබැයි අදනම් සිදුවෙන්නේ නැති තරම්. ඒ ක්‍රම තුන තමයි, සිඟාකෑම, ආපසු දෙන්නට ඉල්ලාගැනීම, හොරකම් කිරීම, Beg, Borrow, Steal.

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම සත්ව ලෝකය නිරීක්ෂණය කිරීමෙන් අපට ජීවිතයටම උගතහැකි පාඩම් බොහොමයි. // +++++++
      සතුන්ගේ හැසීරීම් වලින් අපේ අඩුපාඩු පෙනෙනවා වගේම ආදර්ශයනුත් ලැබෙනව.

      //හමුදාවේදී යුද්ධමය කාර්යයකදී අවශ්‍යතා ඉටුකරගන්න ක්‍රම තුනක් තියනවා//
      ප්ලෑන් කරල ගහනව කියල ලියපු ලිපි මාලාවෙ මේ ගැන තිබුනෙ නෑ නේද? මේ ගැනත් ලියමු නේද විචාරකතුමා වෙලාවක ....


      Delete
  4. කියෙව්වා. ඔබට බොහොම ස්තූතියි. යමක් ඉගෙනගත්තා.

    ReplyDelete
  5. ඔබේ මේ සටහන කියවද්දි මගේ අැඩ්වටයිසින් මිත්‍රයෙක් කියූ කතාවක් මතක් වුණා.
    කම්කරුවො සටන් කරල පඩි වැඩි කරගෙන ඊළඟට කරන්නේ ඒ මුදල මොකක් හෝ භාණ්ඩයක් ගන්න සමාගමකට පුදන එක නේද කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. කම්කරුවො විතරක් නෙවෙයි. සියළු තරාතිරම් වල බොහෝ දෙනා කරන්නේ මේ දේම නේද?

      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...