Monday, October 17, 2016

සම මතින් දත්ත සම්ප්‍රෙෂණය

රැහැන් රහිතව වාතය හරහා ඉලෙක්ට්‍රොනික රහස් පද හෙවත් පාස්වර්ඩ් යවා අගුළු හැරීම නවීන මෝටර් රථ වල බහුලව භාවිතා වන තරමක් දියුණු තාක්ෂණික ක්‍රමයක්. මෙහිදී අප ගෙන යන උපකරණයක් මගින් මුර පදය නො එසේනම් රහස් පදය වාතය හරහා විකාශණය කරනු ලබන අතර, ඊට අදාල අගුල  විකාශණ ආවරණ කලාපයේ පවතීනම් විවර වෙයි. මෙය  දොරවල් විවෘත කිරීමේ සිට වාහනය පණගැන්වීම දක්වා විවිධ අංග මෙම අගුළු හැරීමේ උපකරණ තුල ඇත.
නමුත් මෙම ක්‍රමයේ අනාරක්ෂිතභාවය නම් විකාශණ තරංග අවකාශය පුරාම විසිරී යන බැවින් මෙම තොරතුරු ග්‍රහණය කරගැනීම මගින් වෙනත් අයෙකුට රහස් පදය ව්‍යාජව නිපදවීමේ හැකියාවයි. මේ සඳහා විශේෂ තාක්ෂණික දැනුමක් සහ හැකියාවක් අවශ්‍ය උවද, මෙය කල නොහැක්කක් නොවෙයි. මෙම අඩුපාඩුව ආරක්ෂක හිදැසක් ලෙස පවතින ක්‍රමයේ ඇත.

මෙම අඩුපාඩුවට විකල්පයක් ලෙස අත්හදා බලමින් පවතින නවතම ක්‍රමවේදය මිනිස් සිරුරේ සම මතින් මෙම දත්ත සම්ප්‍රෙෂණය කිරීමයි. සම මතින් යැයි පවසනුයේ මෙම දත්ත සම මතුපිට ඇති තෙතමනය මතින් ගලායන බැවිනි.

මේ සඳහා යොදාගනු ලබන්නේ උපකරණය හසුරුවන්නාගේ ජංගම දුරකතනයයි. එහි ඇති ඇඟිලි සලකුණු කියවනය හෝ ස්ඵර්ශ සංවේදී තිරය භාවිතා කරමින් දත්ත විකාශණය කරනු ලබන අතර, දත්ත ග්‍රහණය කරගන්නා උපාංගය අනෙක් අතෙහි හෝ ශරීරයේ ඕනෑම තැනක සම හා ස්ඵර්ශ වේනම් දත්ත ලබාගත හැක.

උදා: මෝටර් රථයක අගුළු විවෘත කිරීම සලකමු. ඊට අදාල ජංගම දුරකතන ඇප් එකක් මගින් එය විකාශණය කරනු ලබන අතර ස්ඵර්ශ සංවේදී තිරය හරහා එය ශරීරය මතින් විකාශණය කරයි. අනෙක් අතින් කාරයේ හැඬලය ඇල්ලූ විට, ඊට සම්භන්ද කර ඇති කියවීමේ උපකරණය මගින් එය කියවා, නිවැරදිනම් මෝටර් රථයේ දොරගුළු විවෘත වෙයි.

මෙහිදී Apple iPhone 5S, Apple iPhone 6S සහ Lenovo Touchpad යන ජංගම දුරකතන 3ක් සහ තවත් උපකරණ 2ක් ඇසුරෙන් මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබුයේ මෙහ්ඩැඩ් හෙසාර් (Mehrdad Hessar) සහ වික්‍රම් අයියර් (Vikram Iyer) යන පශ්චාත් උපාධි පර්යේෂණයේ යෙදෙන සිසුන් දෙදෙනෙක්. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්ය ශ්‍යාම් ගොලකොට (Shyam Gollakota) යටතේ මෙම පර්යේෂණය සිදුකරණ මෙම පර්යේෂකයන් පවසන්නේ, සම මතින් තත්පරයකට බිට් 50ක (50bps) වේගයකින් දත්ත සම්ප්‍රේශණය සිදුකිරීමට හැකි වූ බවයි. පහස් පදයක් වැනි බිට් 16ක පමණ දත්ත ප්‍රමාණය තත්පරයකටත් අඩු කාලයකදී යැවිය හැක. මෙහිදී භාවිතා වන්නේ මෙගා හර්ට්ස් 10 (10MHz)  සංඛ්‍යාත පරාසයේ තරංග නිසා මෙහි ආරක්ෂිත බව තවත් වැඩි බවයි පැවසෙන්නේ.

ආරක්ෂක උපක්‍රමයකට අමතරව මෙම ක්‍රමයේ ඇති අනෙක් ප්‍රධාන ප්‍රයෝජනයනම් මෙය වෛද්‍ය ක්ෂේත්‍රයේදී යොදාගත හැකි ආකාරයයි.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ විවිධ ශාරීරික දත්ත ලබාගැනීමට විවිධ සන්වේදක රෝගියාගේ සිරුරට සම්බන්ධකර වයර් මගින් උපකරණ වලට සම්බන්ධකර තිබීම සුලභ දසුනකි. මෙම නවතම ක්‍රමවේදය මගින් වයර් රහිත සංවේදක සිරුරට සම්බන්ධ කර සිරුරේ එක් ස්ථානයක් පමණක් යන්ත්‍රයට සම්භන්ධ කිරීම මගින් රොගියාට මෙන්ම රෝහල් කාර්යමණ්ඩලයටද මහත් පහසුවක් ලැබෙන්නේ මෙහිදී පුද්ගලයාගේ උස, මහත හෝ සිටිනා ඉරියව්ව බාධාවක් නොවන නිසාවෙනි.

මෙවැනි සංවේදක මගින් ලබාගන්නා දත්ත සම්ප්‍රේෂණයක් තත්පර කීපයක් තුල සම මතින් විකාශණය කල හැක.

තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම සොයාගැනීමේ දත්ත යැවීමේ වේගය සහ නිරවද්‍යතාවය තවදුරටත් දියුණු කිරීමටත්, මෙහි සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමටත් පර්යේෂකයන් වෙහෙසෙන බවයි පැවසෙන්නේ.

තොරතුරු : IEEE Spectrum සඟරාවට Amy Nordrum ගේ ලිපියක් ඇසුරෙන්.

Image from with Thanks: http://spectrum.ieee.org/image/MjgxNzEwMQ.jpeg

6 comments:

  1. මා හිතනවා අනාගතයේදී පුද්ගලයකුගේ ශරීරය තුළ තැන්පත් කරන මයික්‍රෝ චිප් එකකින් ඔහු ගැන සියල්ල රෝහලේ යන්ත්‍රයකට ගන්න පුළුවන් වෙයි කියා.

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව විවිධ පරීක්ෂණ සිදුකලද තවම ලබාගත හැක්කේ මූලික දත්ත පමණයි. සියලුම විස්තර වාර්තාවක් ලබාගත හැකි තරම් තවම දියුණු කර නැහැ.

      අනික ඒවායේ ඇති සෘණාත්මක පැත්ත තවම ගොඩක් වැඩියි.

      MRI පරීක්ෂණ කිරීමට නොහැකි වීම, චිප් එක එක තැනක නොරැඳී, ගමන් කිරීමට පෙළබීම, විද්‍යුත් පද්ධතියෙන් ශරීරයට කරන බලපෑම් ආදිය ඉන් ප්‍රධානයි.

      http://www.organised-crime-of-covert-electronic-assault-nz.com/part-3-hazards--risks-of-microchip-technology.html

      නමුත් පර්යේෂණ දිගින් දිගටම පැවැත්වෙනව. රෝහල් දොරටුවෙන් ඇතුල්වන විටම මූලික ශාරීරික දත්ත සහිත වාර්ථාවක් (Report) අතට ලැබෙන එවැනි අනාගතයක් බලාපොරොත්තුවෙන් ඉමු.

      Delete
    2. MRI හරියන්නැ වෙනමොනවහරි ආදේශ කරන්ඩ වෙනවා , ඒක මහ වාතයක්

      Delete

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...