Thursday, November 24, 2016

හැමෝම කතා වෙන කාලාම සූත්‍රය කුමක්ද?

රුවන් වෛද්‍යතුමා ලියන ට්‍රාන්සිල්වේනියා බ්ලොග් අඩවියේ පුනරුප්පත්තිය/ පුනර්භවය සත්‍යද ලිපියට අදාලව අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය ලියන විචාගේ කොමෙන්ටුවක් අනුව මෙම අදහස ඇති විය. බොහෝ දෙනා කාලාම සූත්‍රය සහ එහි සඳහන් වන නිදහස් චින්තනය පිළිබඳව සාකච්ඡා කරන බැවින් සහ එම අදහස යොදාගන්නා බැවින්, විචාටත් වෛද්‍යතුමාටත් ස්තූති කරමින්ම මෙම විස්තරය සටහන් කරමි.

>>>>>>>>>...............................<<<<<<<<<<<<
එක් පසෙක හිඳගත්තාවූ ඒ කේසපුත්ත නියම්ගම් වැසි කාලාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ. 

’’ස්වාමීනි, මේ කේසපුත්ත ගමට එන්නාවූ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු තමන්ගේ වාදයම දක්වති. ප්‍රකාශ කරති. අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති."
" ස්වාමීනි, අනික් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කේසපුත්ත ගමට එත්. ඔවුහුද තමන්ගේ වාදයම දක්වති, ප්‍රකාශ කරති, අනික් වාදයන්ට ගරහති, නින්‍දා කරති, බැහැර කරති,"

"ස්වාමීනි, ඔවුන්ගේ කථා පිළිබඳව මේ පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරෙන් කවරෙක් නම් සැබවක් කියයිද, කවරෙක් බොරු කියාදැයි අපට සැක ශංකා ඇතිවන්නේය" කියායි.

’’කාලාමයෙනි, නුඹලා විසින් සැක ශංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ශංකා කළයුතු තන්හිම සැක උපන්නේය. 

"කාලාමයෙනි, 
1. නුඹලා අනුන් කියනු ඇසීමෙන් නොපිළිගත යුතුය. 
2. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගත යුතුය.
3. මෙය මෙසේ විය හැකියයි නොපිළිගත යුතුය.  
4. අපගේ පොත පතෙහි සඳහන් බැවින් නොපිළිගත යුතුය. .
5. තර්‍කානුකූලයයිද නොපිළිගත යුතුය. 
6. න්‍යායට අනුකූලයයිද නොපිළිගත යුතුය. 
7. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුය. 
8. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගත යුතුය. 
9. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගත යුතුය. 
10. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගත යුතුය. 

කාලාමයෙනි, 
යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍- විචාරකමයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු.

’’කාලාමයෙනි, නුඹලා කුමක් සිතන්නෙහිද? 

"පුරුෂයා තුල උපදින්නාවූ ලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, ලෝභයෙන් යුක්තවූ පුද්ගලයා ලෝභය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයි. "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද ?’’

’’ස්වාමීනි, එසේය.’’

’’කාලාමයෙනි,  නුඹලා කුමක් සිතන්නෙහිද? 

" පුරුෂයා තුල උපදින්නාවූ ද්වේෂය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, ද්වේෂයෙන් යුක්තවූ පුද්ගලයා ද්වේෂය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයි "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, ?’’

’’ස්වාමීනි, එසේය.’’

" පුරුෂයා තුල උපදින්නාවූ මෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’කාලාමයෙනි, මෝහයෙන් යුක්තවූ පුද්ගලයා මෝහය විසින් යටපත් කරන ලද සිතින්, හාත්පසින් විනාශ කරන ලද සිතින්, සතුන්ද මරයි, සොරකම්ද කරයි, පරදාරාවන් කරාද යෙයි, බොරුද කියයි, අන්‍යයන්ද එහි යොදවයිද, "

"එය යමෙකුට දීර්‍ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වේද, ?’’

’’ස්වාමීනි, එසේය.’’

’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් වෙද්ද, අකුසල් වෙද්ද?

’’ස්වාමීනි, අකුසල්ය.’’

’’එසේනම් එය වැරදි දෙයක්ද, නිවැරදි දෙයක්ද?’’

’’ස්වාමීනි, එය වැරදි දෙයක්.’’

’’නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ වෙද්ද, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙද්ද?’’
’’ස්වාමීනි, නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු වෙත්.’’
’’සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක පිණිස පවතිද්ද, නොවෙද්ද, මෙහි තොපට කෙසේ අදහස් වේද?’’
’’ස්වාමීනි, පුරන ලද, සමාදන්වන ලද මේ ධර්‍මයෝ අහිත පිණිස, දුක් පිණිස පවතිත් යනු මේ අපගේ අදහස වෙයි.’’

>>>>>>>>....................................<<<<<<<<<<

’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අලෝභය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, ලෝභයෙන් නොඇලුණාවූ, ලෝභයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. එහි අන්‍යයාද සමාදන් කරවයිද, "
ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද ?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අද්වෙශය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
 
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, ද්වේශයෙන් නොඇලුණාවූ, ද්වේශයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි, එහි අන්‍යයාද සමාදන් කරවයිද?
ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? පුරුෂයා තුල උපදිනාවූ අමෝහය හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදින්නේද?’’
’’ස්වාමීනි, හිත පිණිස වේ.’’
’’කාලාමයෙනි, මෝහයෙන් නොඇලුණාවූ, මෝහයෙන් නොමවඩනා ලද්දාවූ, විනාශ නොවූ සිත් ඇත්තාවූ පුරුෂ පුද්ගල තෙම සතුන් නොමරයි, සොරකම් නොකරයි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. එහි අන්‍යයාද සමාදන් කරවයිද
යමක් ඔහුට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස වෙයිද?’’
’’ස්වාමීනි, එසේය.’’
’’කාලාමයෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, කුසල්ය."
’’වරද හෝ නිවරද හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, නිවරද වෙත්.’’
’’නුවණැත්තන් විසින් ගර්හා කරණ ලද්දාහු හෝ නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු හෝ වෙත්ද?’’
’’ස්වාමීනි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරණ ලද්දාහු වෙත්.’’
’’පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස හෝ පවතිත්ද, හිත පිණිස හෝ නොපවතිත්ද? මේ කාරණයෙහි අදහස කෙසේද?
’’පුරන ලද්දාහු, සමාදන් වන ලද්දාහු හිත පිණිස, සැප පිණිස පවතිත් යනු මෙහි අපගේ අදහස වෙයි.’’
>>>>>...........................<<<<<<<

’’කාලාමයෙනි, මෙසේ පහකළ ලෝභය ඇති පහකළ ද්වේෂය ඇති, මුළා නොවූ, යහපත් නුවණ ඇත්තාවූ, සිහියෙන් යුක්තවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.
කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි.
එසේම දෙවෙනි දිශාවද, එසේම තුන්වැනි දිශාවද, එසේම හතරවැනි දිශාවද, මෙසේ උඩද, යටද, සරසද, සැම තන්හි හීන මධ්‍යාදී සියල්ල ඇති බැවින් සියලු සත්ත්‍වයන් ඇත්තාවූ, ලෝකය මහත්වූ, මහත් බවට ගියාවූ, අවෛරීවූ, ව්‍යාපාද රහිතවූ, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
’’කාලාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ අවෛර සිත් ඇත්තේ වේද, මෙසේ අව්‍යාපාද සිත් ඇත්තතේ වේද, මෙසේ නොකිලුටු සිත් ඇත්තේ වේද, මෙසේ පිරිසිදු සිත් ඇත්තේ වේද, ඔහු විසින් මේ ආත්මයෙහි අස්වැසීම් සතරක් ලබන ලද්දාහු වෙත්.
1. ඉදින් පරලොවක් ඇත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක ඇත්තේ නම්, ’කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදින්නෙමි’ යන මේ පළමුවැනි අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
2. ඉදින් පරලොවක් නැත්තේ නම්, කරණ ලද හොඳ නොහොඳ කර්‍මයන්ගේ ඵල විපාක නැත්තේ නම්, ’මේ ආත්මයෙහිම වෛර නැතිව, ව්‍යාපාද නැතිව, දුක් නැතිව, සුවසේ ජීවිතය පරිහරණය කරන්නෙමි’ යන මේ දෙවන අස්වැසීම ඔහු විසින් ලබන ලද්දේ වෙයි.
3. ඉදින් පව් කරන්නාහට විපාක දෙනු ලැබේ නම් මම වනාහි කිසිවෙකුට වරදක් නොසිතමි. පව් නොකරන්නාවූ මට කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? නොපැණෙන්නේද යන මේ තුන්වැනි අස්වැසීම එහු විසින් ලබන ලද්දේ වෙයි.
4.ඉදින් පව් කරන්නාහට විපාක නොදෙනු ලැබේ නම්, ’දැන් මම වනාහි පවෙන්ද, විපාකයෙන්ද යන දෙකින් පිරිසිදුවූ තමා දක්නෙමි’ යන මේ සතරවැනිවූ අස්වැසීම ලබන ලද්දේ වෙයි.
’’කාළාමයෙනි, මෙසේ වෛර සිත් නැත්තාවූ, මෙසේ ව්‍යාපාද සිත් නැත්තාවූ, මෙසේ නොකිලිටි සිත් ඇත්තාවූ, මෙසේ පිරිසිදු සිත් ඇත්තාවූ ඒ ආර්‍ය්‍ය ශ්‍රවකයා විසින් මේ ආත්මයෙහිම මේ අස්වැසිම් සතර ලබන ලද්දාහු වෙත්යයි වදාළ සේක.

>>>>>>>>>>..........................<<<<<<<<<< 

කලාම සූත්‍රයෙන් උපුටාගත් කොටස් පමණක් මෙලෙස දක්වනුයේ ඉතාමත් දීර්ඝ විස්තරයක් එහි ඇති බැවිනි.

~සූත්‍ර පිටකය-අංගුත්තර නිපාතය-තික නිපාතය-මහා වග්ගය~

මෙහි 5 වන සූත්‍ර දේශ්ණාව වන කාලාම සූත්‍රය වැඩිවිස්තර සඳහා කියවා බැලිය හැක.

මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන ප්‍රධාන කරුණනම් කුසලය, අකුසලය තමා විසින්ම නුවණින් විමසා බලා තීරණය කරන ලෙසයි.

තමාටත්, අනුන්ටත් යන එක් පක්ෂයකට හෝ දෙපක්ෂයටම අයහපතක්, නරකක් වෙයිනම් එය අකුසලයකි.

තමාටත්, අනුන්ටත් යන එක් පක්ෂ්යකට හෝ දෙපක්ෂයටම යහපතක්, හොඳක් වෙයිනම් එය කුසලයකි.

එය තමන්ම නුවණින් සලකා බලා තීරණය කර, එහි හැසිරීම යහපත් බවයි බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් පෙන්වා දෙනු ලබනුයේ.
සූත්‍ර පාඨ උපුටාගැනීම:  www.pitaka.lk

Image From with Thanks: https://www.google.com/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&uact=8&ved=0ahUKEwiUrtX667vQAhVMPY8KHdQsAdQQjRwIBw&url=http%3A%2F%2Fslideplayer.com%2Fslide%2F10025450%2F&psig=AFQjCNEueFWBTxka_JFVRmBmOZlApUkm9A&ust=1479885925933276

Saturday, November 19, 2016

දහම්පාසල් අධ්‍යාපනයේ ගුරුවරයාගේ භූමිකාව

ගුරුවරයෙකු ප්‍රධාන වශයෙන් දක්ෂතා 2 කින් සමන්විය යුතුය යන්න මගේ හැඟීමයි.

1. තමන් උගන්වන විෂය පිළිබඳ න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ප්‍රගුණභාවය..

2. න්‍යායාත්මක ඉගැන්වීමේ සහ ප්‍රායෝගික පුහුණු කිරීමේ හැකියාව.

පාසල් අධ්‍යාපනය ප්‍රමුඛ ප්‍රධාන ධාරාවේ ගුරුවරු මේ දක්ෂතා වලින් යුක්ත බව අවිවාදිතය. 

දහම්පාසල් තුල මෙම තත්වය කෙසේද ?

එය තීරණය වන්නේ දහම් පාසල් පද්ධතිය තුලින්ඉ ගැන්වීමට බලාපොරොත්තු වන දේ අනුවය. දැනුම ලබා දීම අතින් දහම්පාසල් වල තත්වයේ එතරම් වෙනසක් නැත.

නමුත් දහම්පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තුව දැනුම පමණක් නොවේ. ගුණගරුක සහ ධාර්මික, යහපත් දරු පිරිසක් බිහි කිරීමයි. 

එනම් දහම් දැනුම මෙන්ම ප්‍රායෝගික බෞද්ධ දරු පිරිසක් බිහි කිරීමයි. එතුළින් යහපත් සමාජයක් බිහි කිරීමයි.

ඒ සඳහා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය මෙන්ම සහතික, කුසලාන කේන්ද්‍ර කරගත් තරඟ, සාර්ථක ක්‍රමයක් ලෙස නොපෙනෙයි. එබැවින් දහම්පාසලකට එම අධ්‍යාපන ක්‍රමවේදය නොගැළපෙන්නේය යන්න මාගේ හැඟීමයි.

බෞද්ධ දර්ශනයේ  ප්‍රායෝගික භාවිතය දහම්පාසල් ගුරුවරුන් අතර එතරම්ම ප්‍රචලිත නැත. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගී වීමද එසේමය.

බෞද්ධ දර්ශණයේ ගැඹුර මෙන්ම එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව මෙම නොදැනුවත්කම මෙන්ම බෞද්ධ දාර්ශණික අත්දැකීම් මද වීම හේතුවෙන් දහම් පාසල් අධ්‍යාපනය එහි මූලික අරමුණින් බැහරව තරඟකාරී පරිසරයටම වැටී ඇති අතරම ඉන් වන සේවාවද අවම වෙමින් පවතී.

ප්‍රායෝගික සහ න්‍යායතමක දැනුම සහ අත්දැකීම් තුලින්, " අවවාදයට වඩා ආදර්ශය උතුම් " වන බව සනාථ වන, බොදු ගුරුවරුන් විසින් ගුණවත් දරු පිරිසක් බිහිකරවීම දහම් පාසල් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව පැහැදිලිය.
  

Monday, November 14, 2016

වැසි සළු පූජාව

කඨින චීවර පූජාව නමින් කවුරුත් දන්නා  වැසි සළු පූජාව අතීත ශ්‍රී ලංකාවේ සිදුකරන ලද අයුරු පිළිබඳව කතා පුවතකි මේ.

අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා පවුලකින් තම එකම පුත්‍රයා කුඩා කලදීම මහණ කරනු ලදුව, ඉතාමත් මහන්සියෙන් බවුන් වඩා මේ භික්ෂූන්වහන්සේ අරහත්වයට පත් වී සිතුල්පව්ව විහාරස්ථානයේ වැඩවසයි. වසර ගණනාවකට පසු තම පුත්‍රයා දැකගැනීමේ ආශාවෙන් මෙම දෙමවුපියන් ඔහු මහණ කල තම විහාරස්ථානයේ වැඩිහිටි ස්වාමීන්වහන්සේ හමුවී ඒ බව දන්වා, තවද තමන් තම නිවස අසල ඉඩමෙහි කුටියක් සාදා ඇති බවත්, වස් කාලය වැඩවිසීම සඳහා ස්වමීන්වහන්සේ නමකට ආරාධනා කිරීමට කැමති බවත් දන්වා සිටියහ.

වැඩිහිටි ස්වාමීන්වහන්සේ ටික දිනකින් සිතුල්පව්ව විහාරස්ථනයට වැඩමකර දෙමාපියන්ගේ කැමත්ත පුත්‍ර ස්වාමීන්වහන්සේට දන්වා වස් කාලය තුල දෙමාපියන්ට අනුග්‍රහ කරන මෙන් උපදෙස් දුන්නහ. මේ තරුණ රහතන්වහන්සේ අනුරාධපුර විහාරස්ථානයට වැඩමකර එහි සිටිනාවිට, පියා පැමිණ එහි නේවාසික ස්වාමීන්වහන්සේගෙන් තමන් විසින් සදා නිමකල තාවකාලික කුටියෙහි වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් ලබාදීම පිළිබඳව මතක්කර සිටියේය. නේවාසික ස්වාමීන්වහන්සේ පුත්‍ර ස්වාමීන්වහන්සේට ඒ බව දන්වන ලදුව, උන්වහන්සේ එම කුටියෙහි වස් සමාදන් වී එම වස්කාලය එහි වැඩ වසන්නට විය. බොහෝ කලකින් දුටු නිසාද, කුඩා කලදීම පැවිදි වීම නිසාද දෙමාපියන්ට මේ තම පුත්‍රයා බව හඳුනාගැනීමට නොහැකි විය. මේ රහතන්වහන්සේද ඒ බව විශේෂයෙන් සඳහන් නොකර වස් කාලය පුරා එම නිවසට පෙරවරුවේ පමණක් දානයට වැඩමකර, ධර්මයෙන් අනුශාසනා කලහ. 

වස් තුන් මස පුරාම නිවැසියන් මේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කල යුතු සියළු උපස්ථානයන් සිදුකර, වස් අවසානයේ වැසි සළුවක්ද සකස්කර පූජා කලහ. උන්වහන්සේ වැසි සළුව පිළිගෙන නැවත සිතුල්පව්වට වඩින අතරමගදී ආපසු අනුරාධපුරයට වඩින ගුරු ස්වාමීන්වහන්සේ හමුවී, විස්තර පවසා වැසි සළුව උන්වහන්සේට පූජාකර සිතුල්පව්වට වැඩම කලේය.

ආපසු ගමට වැඩමකර ගුරු ස්වාමීන්වහන්සේ හමුවූ දෙමවුපියන් තම පුත්‍රයා කොහිදැයි විමසූ විට, මෙතෙක් කලක් ගෙදර කුටියෙහි වස් විසුවේ පුත්‍රයා බවත්, අල්පේජ්‍ය බව නිසා සඳහන් නොකරන්නට ඇති බවත් පවසා, තමන් වහන්සේට පූජා කල වැසි සළුවද පෙන්වා සිටියේය. මින් බොහෝ සතුටට පත් දෙමවුපියන් සිතුල්පව්ව පැත්තට හැරී වන්දනා කරමින් තම පුත්‍රයාගේ අල්පේජ්‍ය බව පිළිබඳව බොහෝ සතුටු විය.

අල්පේජ්‍ය භාවය පිලිබඳව සඳහන් වන මෙම කතා පුවතෙන් එකල වස් විසීම සහ වැසි සළු පූජාව පිළිබඳව බොහෝ කරුණු හෙලිදරව් වෙයි.

නිවැසියන් තම නිවසට නුදුරෙහි කුටියක් සාදා වස් විසීමට ස්වාමීන්වහන්සේ නමක් වැඩමකරවා ගත්හ.

මුළු වස් කාලය පුරාවටම උන්වහන්සේට බණ භාවනා පිණිස සියළු පහසුකම් සපයා දුන්නහ.

සියළු උපස්ථානයන් මාස 3ක් පුරා සිදුකලහ.

මාස 3ක් පුරා විශේෂයෙන් සකසා උන්වහන්සේ වෙනුවෙන් දානය පූජා කලහ.

ඒ සෑම දිනකම උන්වහන්සේගෙන් ධර්මය අසමින් ඉගෙනගත්හ.

වස් කාලය අවසානයේ උන්වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කල චීවරයක් පූජා කලහ.

මෙලෙස මාස තුනක් පුරා උන්වහන්සේට උපස්ථාන කරමින් ධර්මය ඉගෙනීමෙන් සිට අවසානයේ පිංකමෙහි අවසාන අංගය ලෙස වැසි සළුවක් පූජා කිරීමෙන් මහා පිංකමක් අවසන් කරයි.

තම නිවස අසලින් හෝ වෙනත් තැනකින් කුටියක් සෑදීමට නොහැකිනම්, ගමේ විහාරස්ථානයේම වස් වැසීමට ආරාධනා කල හැක. එහිදී එම තුන් මාසය පුරාවටම  ස්වාමීන්වහන්සේලාගේ භාවනා සහ බණ දහම් ඉගෙනීම ආදිය සඳහා තමාට කලහැකි සියළු උපස්ථානයන් සිදුකල යුතුය. දිනපතා සවස විහාරයෙහි වතාවත් කල යුතුය. ධර්මය ඇසිය යුතුය. සාකච්ඡා කලයුතුය. ඉගෙනගත යුතුය. එසේ ඉගැන්වීම, කියාදීම වස් වසන ස්වාමීන්වහන්සේගේ යුතුකම වන්නේ උන්වහන්සේගේ අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ දායක පිරිස මාස 3ක් පුරා වෙහෙස මහන්සි වන බැවිනි.

දායක පිරිස දිනපතා මාස 3ක් පුරාවට උපස්ථානයෙන්, වතාවත් කිරීමෙන් සහ දානයෙන් ස්වාමීන්වහන්සේට ධර්ම මාර්ගයට අනුග්‍රහ කරයි.

ස්වාමීන්වහන්සේ දිනපතා මාස 3ක් පුරාවට ධර්මය කියාදීමෙන්, අඩුපාඩු පෙන්වාදීමේන් දායක පිරිසට අනුග්‍රහ කරයි.

මෙම මහා තුන් මාසික අනුග්‍රහය වස් පවාරණයෙන් සහ වැසි සළුවක් හෙවත් වැසිකාලයෙන් පසු පෙරවීමට නව චීවරයක් පූජා කිරීමෙන් අවසන් වෙයි.

මෙලෙස අවසන් කල පින්කම් මාලාවෙහි ගුණය මෙතෙකැයි පැවසිය නොහැකි තරම්ය.

Image from with Thanks: https://www.pinterest.com/pin/434667801518702308/

Tuesday, November 8, 2016

පෞරුෂත්වය විනිශ්චයට කරුණු 9ක්

රැකියාවකදී වන වෘත්තීය හමවක් වේවා, සමාජීයව සිදු වන හමුවීමක් හෝ වේවා දෙදෙනෙක් ප්‍රථම වරට හමුවූ විට එකිනෙකා පිළිබඳව විමසිලිමත් වීමත්, එකිනෙකාව මැන බැලීමත් අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මෙවැනි හමුවකදී එකිනෙකා මැනගැනීමට නිරායාසයෙන්ම අප මනස යොදාගන්නා කරුණු 9ක් පිළිබඳවයි මෙම සටහන.

Friday, November 4, 2016

කාලි

කාලි යන නම ඇසූ පමණින්ම සිහියට නැගෙන කාලි දෙවඟන සහ කලියුගය පිළිබඳව බොහෝ දෙනා දන්නා බැවින් මේ උත්සාහය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නොවේ. පරිගණක සහ පරිගණක ජාල ලෝකයෙහි මහත් පෙරැළියක් සිදුකරමින් යන කාලි පිළිබඳවයි මේ සටහන.

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...