Thursday, September 29, 2016

NASA එකේ RAMA ව්‍යාපෘතිය

NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය වන RAMA හී අරමුණ IEEE Spectrum සඟරාවේ මේ පිලිබඳව සඳහන් කරන තාක්ෂණික ලේඛක එවන් ඇකමන්ට ( Even Ackerman ) අනුව අභ්‍යාවකාශයෙහි සැරිසරන ඇස්ටරොයිඩයක් (Asteroid) හෙවත් ග්‍රාහකයක් අභ්‍යාවකාශ යානාවක් බවට පත්කර එය පෘතුවිය වෙත ගෙන ඒම.



අභ්‍යාවකාශයට පෘතුවියේ සිට යමක් ගෙන යාම ඉතාම වියදම් අධික ක්‍රියාවලියක් බැවින් එය අභ්‍යාවකාශ ව්‍යාපෘති දියුණුවට මහත් බාධාවකි. නමුත් අභ්‍යාවකාශය පුරා විසිරී පවතින අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන එහිදීම නිෂ්පාදනය කලහැකිනම් එය වඩාත් ලාභදායී මෙන්ම, කාර්යක්ෂමද වෙයි.

3-ඩී ප්‍රින්ටින් ( 3-D Printing ) එහෙමත් නැත්නම් ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය උපයෝගී කරගනිමින් අවශ්‍ය මෙවලම් අභ්‍යාවකාශයේදීම නිෂ්පාදනය කිරීමේ මූලික හැකියාව අද වන විට තිබුනද ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකම ප්‍රධාන ගැටලුවකි. ඊට විසඳුමක් ලෙස අභ්‍යාවකාශය පුරා විසිරී පවතින ග්‍රාහක වලිනි අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා එම ග්‍රාහකයක් පෘතුවිය ආසන්නයට ගෙන ඒමට සැලසුම් කරනු ලබන මෙම ව්‍යාපෘතිය මූලික අදියරෙහි පවතින්නක්.

ඉතා කුඩා ග්‍රාහකයක් වුවද අභ්‍යාවකාශ යානයක් මඟින් ඇදගෙන හෝ තල්ලුකරගෙන පෘතුවිය ආසන්නයට ගෙන ඒම ඉන්ධන සහ ධනය පෙරදීටත් වඩා වැයවන ක්‍රමයකි. මේ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කිව නොහැකි තරම් විශාල බවයි පැවසෙන්නේ. එබැවින් ඊට වඩා බෙහෙවින් ලාභදායී ක්‍රමයක් පිළිබඳව RAMA ව්‍යාපෘතියෙන් අවධානය යොමුකර ඇත.

මුලික සැලසුම අනුව මෙහිදී සිදුකරනුයේ සීඩ් ක්‍රාෆ්ට් (seed craft) නම් වූ කුඩා යානයක් අදාල ග්‍රාහකය වෙත යැවීමයි. එම යානයේ අති විශාල ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් සහ එම ග්‍රාහකයෙන් අමුද්‍රව්‍ය ලබාගත හැකි මූලික යන්ත්‍රෝපකරණ සහිතයි.

යානය ග්‍රාහකය මත වඩාත්ම සුදුසු ස්ථානයක ගොඩබස්සවා, ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය ස්ථාපනය කර එම ග්‍රාහකයෙන්ම ලබාගන්නා අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් යාන්ත්‍රික ව්‍යුහයක් ග්‍රාහකය මත ගොඩනගනු ලබයි. මෙය ඉලෙක්ට්‍රොනික පරිපථ සම්බන්ධ නොවුනු සරල, නමුත් අති විශාල යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය,
1. ගයිරස්කෝප් නම් උපකරණයේ අති විශාල ප්‍රමාණයේ ව්‍යුහයක්,
2. අති විශාල කැටපෝලයක් සහ
3. සූර්ය පැනල පද්ධතියකින්

සමන්විත සුවිසල් යන්ත්‍රයකි. මෙම මුලු යන්ත්‍රයම ත්‍රිමාණ මුද්‍රණයෙන් ග්‍රාහකය මතදීම මුද්‍රණය කර නිෂ්පාදනය කරනු ලබයි.

ගයිරස්කෝප් නම් උපකරණය යන්ත්‍රයේ සමතුලිතතාවය සහ මඟපෙන්වීමට උපයෝගී කරගන්නා යාන්ත්‍රණය වන අතර දැවැන්ත දැතී රෝද වලින් සමන්විත අති විශාල පරිමාණයෙන්, ග්‍රාහකයේ සම්තුලිතතාවය රැකගැනීමට අවශ්‍ය පරිදි නිර්මාණය කෙරෙනු ඇත.

ග්‍රාහකයේ ගමන් මාර්ගය වෙනස් කිරීමට අවශ්‍ය බලය ලබාගනුයේ අති විශාල කැටපෝලයක් වැනි යාන්ත්‍රණයකින් ග්‍රාහකයේම කොටස් ග්‍රාහකය ගමන් කරවීමට ප්‍රතිවිරුද්ධ දිශාවට වීසිකිරීම මගිනි. මෙම ක්‍රමයේ කාර්යක්ෂමතාවය සාම්ප්‍රදායික එන්ජිමක මෙන් 10% පමණ වුවද, වියදමක් නොමැත. මෙමඟින් ග්‍රාහකයේ පරිමාව අඩු වුවද වැඩි ප්‍රමාණයක් පෘතුවිය ආසන්නයට ගෙන ඒමට හැකි බව පර්යේෂණ ආයතනය පවසයි.

මුද්‍රණය කරගත් සූර්ය පැනල උපයෝගී කරගනිමින් තාපය උත්පාදනය කර, එම තාප ශක්තිය මෙම අති විශාල යන්ත්‍රය ක්‍රියාකරවීමට අවශ්‍ය බලය උත්පාදනය කර ගනී.

RAMA ව්‍යාපෘතිය එහි පළමු අදියර වන, සීඩ් ක්‍රාෆ්ට් (seed craft) යානය සහ එහි මූලික අවශ්‍යතාවයන් සැලසුම් කිරීම මගින් තාක්ෂණික මාර්ග සිතියමක් ඉදිකිරීමේ අදියරෙහි පවතින අතර 2030 ආසන්න වසර කීපය තුලදී පළමු සීඩ් ක්‍රාෆ්ට් (seed craft) යානය පෘතුවියට ආසන්නතම ග්‍රාහකයක් වෙත යැවීමට සැලසුම් කොට තිබෙනවා.

මූලාශ්‍ර: IEEE Spectrum

Image from with Thanks: http://spectrum.ieee.org/tech-talk/aerospace/space-flight/project-rama-turning-asteroids-into-catapultpowered-analog-spacecraft

No comments:

Post a Comment

You May Also Like

ඔබේ අදහස් හා යෝජනා තුටු පඬුරක්මය.

සාකච්ඡාව මිස වාදය වැදගත් නොවන්නකි.
Related Posts Plugin for WordPress, Blogger...